by Staff writer 23-11-2020 | 10:25 PM
COLOMBO (News 1st) : 2010 - 2014 කාල සීමාවේ කොටස් වෙළෙඳපොළේ සිදුවූ බව කියන අයථා ගනුදෙනු පිළිබඳ විමර්ශනවලට සිදුවුණේ කුමක්ද?
එම ගනුදෙනු පිළිබඳව අල්ලස් කොමිෂන් සභාවත්, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයත්, විනිමය සුරැකුම්පත් කොමිසමත් වෙන වෙනම විමර්ශන සිදු කළේ ය.
ඇතැම් ගනුදෙනු සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනුණත් වැරදිකරුවන්ට දඬුවම් නියමවූ බවක් තවමත් පෙනෙන්නට නැහැ.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය නීත්‍යානුකූල නොවන බවට තර්ක ගොඩනගමින් දැන් එම ඒකකය පවා අකර්මණ්‍ය කර විමර්ශන ගොනු පොලීසියේ වෙනත් අංශ යටතට පත්කර තිබේ.
2015 මාර්තු 17 වැනිදා එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කොටස් වෙළෙඳපොළ අයථා ගනුදෙනුවලින් ලාභ ඉපැයූ සමාගම් ගණනාවක් ගැන විමර්ශන සිදුවන බව ප්‍රකාශ කළේ ය.
කලම්බු ලෑන්ඩ් ඇන්ඩ් ඩිවොලොප්මන්ට් සහ රීෆ් කොම්බ් ඒ අතර ඉදිරියෙන්ම තිබූ සමාගම් 2 කි.
ඒ වනවිටත් රීෆ් කොම්බ් සමාගම සිට්‍ට්‍රස් ලෙෂර් නමින් වෙනස් කර කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු සිදුකරමින් තිබුණි.
2015 මැයි මාසයේ මාධ්‍ය සිදු කළ අනාවරණයකින් මේ ගැන පුළුල් ලෙස කරුණු පෙන්වා දුන්නේ ය.
සිට්‍රස් ලෙෂර් කොටසක මිල 2010 ඔක්තෝම්බර් 01 වැනිදා සහ නොවැම්බර් 02 අතර කාලයේ පැවතුණේ රුපියල් 20 ක අගයකටයි.
නමුත් 2010 වසරේ නොවැම්බර් 02 සහ 09 යන කෙටි කාලසීමාව තුළ එම කොටසක මිල එක්වරම 255 % කින් වැඩිවිය.
2012 ජුනි 06 වැනිදා වනවිට රුපියල් 02 ක් දක්වා යළිත් එම සමාගමේ කොටස් ඇද වැටුණු අතර 2012 ජුනි 20 වැනිදා යළි 300 % කින් වැඩිවී රුපියල් 8 ක් දක්වා මිළ ඉහළ ගියේ ය.
2015 මැයි මාසයේ 19 වැනිදා වනවිට එම සමාගමේ කොටසක මිළ සත 10 කි .
අද කොළඹ කොටස් වෙළඳපොළේ දත්ත අනුව සිට්‍රස් ලෙෂර් කොටසක මිල දැක්වුනේ රුපියල් 9 සත 40 ක් ලෙසය.
එවක ආර්ථික විශේෂඥයින් කොටස් වෙළෙඳපොළ විශ්ලේෂකයින් මෙන්ම විමර්ශන කණ්ඩායම් ද පෙන්වා දුන්නේ එක්වරම කොටස් අගය කෘතිමව ඉහළ නංවමින් ආයෝජකයින් පොළඹවා ගෙන හිතවතුන් කිහිපදෙනෙකු එක් වී අසීමිත වාසි ලබා ගැනීම ඇතැම් ගනුදෙනුවලදී සිදුකර ඇති බවයි.
කොටස් වෙළෙඳපොළේ කුඩා ආයෝජකයින් මෙන්ම අර්ථ සාධක අරමුදල වැනි ජනතා මුදල් එම උගුලට හසුවූ අතර ඒවායේ අහිතකර විපාක තවමත් භුක්ති විදිමින් සිටී.
කීර්තිමත් රාජ්‍ය නිලධාරිනියක වූ ඉන්ද්‍රානි සුගතදාස මහත්මියට මෙන්ම තිලක් කරුණාරත්න මහතාටත් විනිමය සුරැකුම්පත් කොමිසමේ සභාපති අසුනින් ඉල්ලා අස්වීමට සිදුවූයේ ඇයි දැයි දන්නේ මේ ගනුදෙනු පිටුපස සිටින අයමයි.
මෙවැනි කීර්තිමත් නිලධාරීන් වෙනුවට කොටස් වෙළෙඳපොළ අයථා ගනුදෙනු කළ සමාගම්වල තනතුරු දැරූ අයම පසුව විනිමය සුරැකුම්පත් කොමිසමේ මුල් පුටුවට පත්විය .
කුමන හේතු ඉදිරිපත් කර චෝදනා වලින් ගැලවුණත් අහිංසක මහජනතාවගේ මුදල් කූට උපායන්ගෙන් හා රැවටීම්වලින් කොල්ල කෑ කාටත් හෘදය සාක්ෂියෙන් නම් කිසිදා ගැලවිය නොහැකියි.