''ජෝර්ජ් ස්ටුවට් හෙල්ත්'' ගෙන්වූ ඇන්ටිජන් කට්ටල ගැන වාර්තා කිරීම වළක්වමින් සිරසට එරෙහිව ඒකපාර්ශවික වාරණ නියෝගයක්..

by Staff writer 23-11-2020 | 9:26 PM

COLOMBO (News 1st) : කොවිඩ් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ගෙන්වීම සම්බන්ධව ''ජෝර්ජ් ස්ටුවට් හෙල්ත්'' පුද්ගලික සමාගම හා එහි සභාපති දිලිත් ජයවීර මහතා පිළිබඳව තොරතුරු වාර්තා කිරීම වළක්වමින් සිරස මාධ්‍ය ආයතනයට එරෙහිව එම සමාගම කොළඹ දිසා අධිකරණයෙන් ඒක පාර්ශවීය වාරණ නියෝගයක් ලබාගෙන තිබේ.

තව ද එම පැමිණිල්ලේ සඳහන් වන පරිදි මුද්දර ගාස්තු ගණනය කිරීමේ කර්තව්‍ය සඳහා පැමිණිලිකරු මෙම නඩුව රුපියල් බිලියන 2 කට අගය කර සිටී. ''ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත්'' සමාගම සහ එහි සභාපති දිලිත් ජයවීර මහතා විසින් ගොනුකර තිබූ පැමිණිල්ලක් අද කැඳවූ අවස්ථාවේ ලබන 07 වැනිදා දක්වා බල පැවැත්වෙන පරිදි කොළඹ අතිරේක දිසා විනිසුරු සඳුන් විතාන මහතා විසින් මෙම වාරණ නියෝගය නිකුත් කර තිබේ.