අමාත්‍යංශ විෂය පථයන් කිහිපයක සංශෝධනයක්

අමාත්‍යංශ විෂය පථයන් කිහිපයක සංශෝධනයක්

by Staff writer 23-11-2020 | 1:45 PM
COLOMBO (News 1st) : අමාත්‍යංශ විෂය පථයන් කිහිපයක් සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. පසුගිය සිකුරාදා නිකුත් කර ඇති මේ යටතේ නව කැබිනට් අමාත්‍යංශ දෙකක් හඳුන්වාදී ඇත. ඒ තාක්ෂණ සහ මහජන ආරක්ෂක අමාත්‍යංශයයි. මේ දක්වා අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශය යටතේ තිබූ පොලීසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍යංශය යටතට පත්කර තිබේ. රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවති පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, තාක්ෂණ කැබිනට් අමාත්‍යංශය යටතට පත් කර ඇත. ජනාධිපතිවරයා යටතේ ඇති ජාතික ප්‍රමුඛතා විෂය පථයන් කිහිපයක් ද සංශෝධනය කෙරිණ. ඒ අනුව ත්‍රිවිද හමුදා සාමාජිකයින් කොරෝනා වෛරසය අසාදනය වීමෙන් වළක්වා ගැනීම සඳහා පත්කරන ලද ජනාධිපති කාර්යසාධන බලකාය, සුරක්ෂිත රටක්, විනය ගරුක, ගුණගරුක හා නීතිගරුක සමාජයෙක් ගොඩනැගීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකාය, කොවිඩ් 19 අමාත්‍යංශ කාරක සාධක බලකාය, නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්ම උරුමය කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ස සාධන බලකාය, අධ්‍යාපන කටයුතු පිළිබඳ ජනාධිපති කාර්ය සාධන බලකාය සහ ආර්ථික පුනර්ජීවනය හා ද්‍රරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන කාර්ය සාධක බලකාය, ජාතික ප්‍රමුඛතා විෂය පථයට ඇතුළත් කර තිබේ. ජාතික ප්‍රමුඛතා යටතේ පැවති විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය, පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය, නව ගැසට් නිවේදනය මගින් පත්කර ඇත්තේ තාක්ෂණ අමාත්‍යංශය යටතටයි. මහපොළ භාරකාර අරමුදල වෙළෙඳ අමාත්‍යංශය යටතට පත්කෙරිණ.