නිව්ස්ෆස්ට් අපට අහිමි වූ චන්ද්‍රමතී කුලන්දයිවේල්..

හදිසියේ දිවියෙන් සමු ගත් නිව්ස්ෆස්ට්හි චන්ද්‍රමතී කුලන්දයිවේල්..

by Staff writer 22-11-2020 | 9:11 PM

COLOMBO (News 1st) - නිව්ස්ෆස්ට් ප්‍රවෘත්ති අංශයේ සේවය කරමින් සිටියදී නොසිතු විරූ ලෙස අප අතරින් වියෝ වූ චන්ද්‍රමතී කුලන්දයිවේල් මහත්මියගේ අවසන් කටයුතු හෙට(23) මහනුවර, කන්දෙකැටියේදී සිදු කිරීමට නියමිතය.

පසුගිය 20වැනිදා ඇය දිවියෙන් සමුගන්නා විට වයස අවුරුදු 29 කි. චන්ද්‍රමතී කුලන්දයිවේල් 1991 ජූලි 07 වැනිදා උපත ලැබුවේ මහනුවර, පුස්සැල්ලාවේදීය. මූලික අධ්‍යාපනය සඳහා පුපුරැස්ස දෙමළ විද්‍යාලයට ඇතුළත් කෙරුණු ඇය ද්විතීයික අධ්‍යාපනය නිම කළේ පුස්සැල්ලාව හින්දු ජාතික පාසලෙනි. පාසලේදී විෂය බාහිර ක්‍රියාකාරකම් කෙරෙහි ද උනන්දුවක් දැක්වූ ඇය ගුරු - සිසු සියල්ලන්ගේ සිත් ගත් දීප්තිමත් ශිෂ්‍යාවක් වූවාය. ඉන්දියාවේ නාමක්කල් එස්.එස්.එම්. විශ්වවිද්‍යාලයෙන් උපාධිය නිම කළ චන්ද්‍රමතී, මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසියේ තිනක්කුරල් පුවත්පතේ සේවයට එක් වෙමිනි. ඇය 2016 වසරේ සිට නිව් ෆස්ට් පවුලේ සාමාජිකාවක බවට පත් විය. චන්ද්‍රමතී කුලන්දයිවේල් එම වසරේදීම විවාහ දිවියට එළැඹුණේ සුබ්‍රමණියම් සරවණන් මහතා සමග අතිනත ගනිමිනි. සිව් වසරක් නිව්ස්ෆස්ට් සමග සිටි ඇය මහජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටි ක්‍රියාශීලී මාධ්‍යවේදිනියකි. විටෙක ප්‍රවෘත්ති වාර්තාකාරිනියක ලෙස ද, විටෙක නිෂ්පාදකවරියක් ලෙස ද ඇය තම රාජකාරිය දේවකාරිය සේ ඉටු කළේ කලක සිට තමා පෙළමින් සිටි රෝගාබාධ පවා නොසලකා හරිමිනි. මහජනතාවගේ පොදු ප්‍රශ්න වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටි ඇය ගම්මැද්ද ක්‍රියාන්විතය සමග ගමින් ගමට යමින් ජන දුක හඳුනාගත්තේ සුපුරුදු ලෙන්ගතු සිනහව ඔවුන්ට තිළිණ කරමිනි. රටේ ජනතාවට සරණක් අවැසි වූ සෑම විටෙකම ක්‍රියාත්මක වන "සහන යාත්‍රා" මෙහෙයුමට ද ඇගේ දායකත්වය හිමි වූවාය. හදිසියේ ඇය මෙලෙස වියෝ වීම, නිව්ස්ෆස්ට් කාර්ය මණ්ඩලයේ සියල්ලන්ගේ නෙත් කඳුළින් තෙත් කළේය. සැමගේ හදවත් තුළ, අමතක නොවන මතකයක් වන චන්ද්‍රමතී කුලන්දයිවේල් සොයුරියනි, ඔබට උතුම් වූ අමා ශාන්තිය අත් වේවා..!!