රාමඤ්ඤ නිකායේ මහා නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය..

රාමඤ්ඤ නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපාන පේමසිරි මහ නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය ගෞරව සහිතව..

by Staff writer 22-11-2020 | 10:35 PM

COLOMBO (News 1st) - අසූ හත් වසරක් තිස්සේ සසුනඹර එකලු කළ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ගමහාපණ්ඩිත, අතිපූජ්‍ය නාපාන පේමසිරි මහ නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය, අද පස්වරුවේ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කෙරුණි.

ඒ, මහනුවර කුණ්ඩසාලේ එස් .ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක විදුහල් ක්‍රීඩාංගණයේදීය. අපවත් වී වදාළ මහ නාහිමියන්ගේ ශ්‍රී දේහය මහනුවර මැණික්හින්න, හූරීකඩුවේ විද්‍යාසාගර පරිවෙන් පරිශ්‍රයේ තැන්පත් කර තිබුණි. අද පෙරවරුවේ උන්වහන්සේට අවසන් ගෞරව දැක්වීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැමිණි අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලනඥයින් පිරිසක් ද පැමිණ සිටියහ. 98 හැවිරිදි වියේ පසු වූ මහ නාහිමියන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වුණේ පසුගිය 17 වැනිදාය. පිරිවෙන් පරිශ්‍රයේ සිට, මහා නාහිමියන්ගේ ශ්‍රී දේහය කුණ්ඩසාලේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක විදුහල් ක්‍රීඩාංගණය වෙත වැඩම කෙරිණි. පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පැවැති ආදාහන පූජෝත්සවය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද සහභාගි විය. එහිදී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහා නායක අග්ගමහාපණ්ඩිත, අතිපූජ්‍ය මකුලෑවේ විමල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මතක වස්ත්‍ර පූජා කර අපවත් වී වදාළ අතිපූජ්‍ය නාපාන පේමසිරි මහා නාහිමියන් වහන්සේට පුණ්‍යානුමෝදනා සිදු කෙරිණි. පසුව ශ්‍රී ලංකා යුද හමුදා කාලතුවක්කු රෙජිමේන්තුවේ විසින් ආචාර වෙඩි මුර 17 ක්ද පිරි නැමුවේය. ඉන් අනතුරුව මහා නාහිමියන්ගේ ශ්‍රී දේහය චිතකය වෙත රැගෙන ගියේ මහත් බුහුමන් සහිතවයි. දශක 8ක් තිස්සේ සසුනඹර එකලු කළ අතිපූජ්‍ය අග්ග මහා පණ්ඩිත නාපාන පේමසිරි මහා නාහිමියනි, ඔබ වහන්සේට නිවන් සුව..!!