ධර්මසේන හා මඩුගල්ලේ LPL තරගාවලියට..

LPL: කුමාර් ධර්මසේන විනිසුරු මඩුල්ලට, රන්ජන් මඩුගල්ලේ තරග තීරක මඩුල්ලට..

by Staff writer 21-11-2020 | 4:05 PM
COLOMBO (News 1st) – අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල තරග තීරක රන්ජන් මඩුගල්ලේ මහතා හා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල විනිසුරු කුමාර් ධර්මසේන මහතා මෙවර ලංකා ප්‍රිමියර් ලීග්(LPL) 20/20 ක්‍රිකට් තරගාවලියේ තරග තීරක සහ විනිසුරු මඩුල්ලට නම් කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ විනිසුරු මඩුල්ල මේ වනවිට නිවේදනය කර තිබේ. හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සහ අන්තර් ජාතික ක්‍රිකට් විනිසුරු මඩුල්ලට ඇතුළත් කුමාර් ධර්මසේන මහතා ඊට ඇතුළත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. 2012 සහ 2018 වසරවල ලොව හොඳම ක්‍රිකට් තරග විනිසුරු ලෙස අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් ප්‍රදානය කරන ''ඩේවිඩ් ෂෙපර්ඩ්'' සම්මානයෙන් පිදුම් ලැබුවේ ද ධර්මසේන මහතායි. ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ විනිසුරු මඩුල්ලට රුචිර පල්ලියගුරුගේ, රවීන්ද්‍ර විමලසිරි, ලින්ඩන් හැනිබල් සහ ප්‍රගීත් රඹුක්වැල්ල ද ඇතුළත්ව සිටී. මේ අතර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග තීරක මඩුල්ලට ඇතුළත් කර තිබෙන හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක සහ අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල ප්‍රවීණ තරග තීරක රන්ජන් මඩුගල්ලේ මහතා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි 7ක තරග තීරකවරයෙක් ලෙස කටයුතු කර තිබේ. 1999, 2003, 2015 සහ 2019 ලෝක කුසලාන ක්‍රිකට් අවසන් තරගවල තීරකවරයා ලෙස කටයුතු කළේ ද මඩුගල්ලේ මහතායි. ලංකා ප්‍රිමියර් ලීග් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ තරග තීරක මඩුල්ලට ග්‍රෙහැම් ලැබ්රෝයි සහ වෙන්ඩෙල් ලැබ්රෝයි සොහොයුරන් මෙන්ම මනෝජ් මෙන්ඩිස් යන මහත්වරුන් ඇතුළත් බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.