තවත් කොරෝනා මරණ 4ක්.සුවය ලැබූ ගණන 13000 කට ආසන්නයි

තවත් කොරෝනා මරණ හතරක්...සුවය ලැබූ ගණන 13000 කට ආසන්නයි

by Staff writer 20-11-2020 | 6:30 AM

COLOMBO (News 1st) –  කොරෝනා ආසාදනය වීමෙන් කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු මියගිය බව ඊයේ මධ්‍යම රාත්‍රීයේදී වාර්තා විය.

එලෙස මියගොස් ඇත්තේ 27 සහ 59 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකු හා 70 සහ 86 හැවිරිදි පිරිමි පුද්ගලයින් දෙදෙනෙකි. මියගිය 27 හැවිරිදි කාන්තාව කොළඹ ජාතික රෝහලේදී කොරෝනා රෝගියෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු මුල්ලේරියාව රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇත. කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකාරියක් වන ඇයගේ මරණයට හේතුව කොරෝනා ආසාදනය නිසා උත්සන්න වූ අක්මා රෝගී තත්ත්වයකි. කළුතර , පොකුණුවිට ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි කාන්තාව සිය නිවසේදී මියගොස් තිබේ. කොරෝනා ආසාදනයවීම නිසා ඇති වූ පපුවේ ආසාදනයක් සහ අධික රුධිර පීඩනය ඇයගේ මරණයට හේතුවී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. මියගිය අනෙක් පුද්ගලයා 70 හැවිරිදි කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු මියගොස් ඇත්තේ , කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසුවයි. මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ කොරෝනා ආසාදනය සමග ඇති වූ නිව්මෝනියා තත්ත්වයකි. නිවසේදී මියගිය අනෙක් 86 හැවිරිදි පිරිමි පුද්ගලයාගේ මරණයට හේතුව කොරෝනා ආසාදනය නිසා ඇති වූ පපුවේ ආසාදනයක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඔහු කළුතර, හල්තොට පදිංචිකරුවෙක් ය. මේ සමග මෙරට කොරෝනා ආසාදනය වීමෙන් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 73 දක්වා ඉහළ ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. මේ අතර තවත් කොරොනා ආසාදිතයින් 437 දෙනෙකු ඊයේ හඳුනා ගැනුණි. ඔවුන් පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයින් ය. ඒ සමග මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 18,841 බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. වෛරසය ආසාදනයවීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 5865 කි. මේ අතර කොරෝනා ආසාදිතයින් 316 දෙනෙකු ඊයේ සුවය ලැබූ හ. ඒ සමග මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 12903 කි.