by Staff writer 20-11-2020 | 11:39 AM
COLOMBO (News 1st) : අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට එරෙහිව නීතිපතිවරයා මහනුවර මහාධිකරණය හමුවේ ගොනු කර තිබූ නඩුවක අධිචෝදනා පත්‍රය බලරහිත කරමින් අභියාචනාධිකරණය අද රීට් ආඥාවක් නිකුත් කළේ ය.
ඒ, අභියාචනාධිකරණයේ සභාපති ඒ. එච්. එම්. ඩි. නවාස් සහ සෝභිත රාජකරුණා යන විනිසුරු මඩුල්ල විසිනි.
1999 වසරේදී මහනුවර මහවෙල ප්‍රදේශයේදී සිදුවූ මනුෂ්‍ය ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් විත්තිකරුවෙකුට එරෙහිව නීතිපතිවරයා මහනුවර මහාධිකරණය හමුවේ නඩුවක් පවරා තිබියදී 2015 වසරේදී ද එම විත්තිකරු හා තමන් විත්තිකරුවන් කරමින් නැවත අධිචෝදනා ගොනු කර නඩු පවරා ඇති බව පෙන්වා දෙමින් ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ගොනු කර තිබු පෙත්සම පිළිබඳ විභාගයක් පැවැත් වූ අභියාචනාධිකරණය අද එම නියෝගය නිකුත් කළේ ය.
1999 වසරේදී සිදුවූ ඝාතනය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව 2015 වසරේදී අධිචෝදනා ගොනු කර ඇත්තේ, දේශපාලන වශයෙන් පළිගැනීමේ චේතනාවෙන් බවත් තමන් නොමැතිව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ එක් දිනකදී පැවැත් වූ ලඝු නොවන නඩු විභාගයෙන් අනතුරුව මෙලෙස අධිචෝදනා ගොනු කර ඇති බවත් ජනක බණ්ඩාර මහතා සිය පෙත්සම මගින් අධිකරණයට පෙන්වා දී තිබිණ.
සැකකරු නොමැතිව ලඝු නොවන මහේස්ත්‍රාත් පරික්ෂණයක් පැවැත්වීම නීති විරෝධී බවටත් එකී ලඝු නොවන මහේස්ත්‍රාත් පරික්ෂණය අනුව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇති බැවින් එම නඩු පැවරීම නිත්‍යානුකූල නොවන බවටත් නිගමනය කරමින් විනිසුරු මඩුල්ල එම නියෝගය කළේ ය.