විවේචන ඉවසන්න.. - සජිත්ගෙන් ආණ්ඩුවට උපදෙසක්

''සමාජ මාධ්‍ය නිර්දය ලෙස විවේචනය කරද්දිත් අපි නම් ඉවසුවා'' - විපක්ෂ නායක

by Staff writer 18-11-2020 | 7:25 PM

COLOMBO (News 1st) - මාධ්‍ය, සමාජ මාධ්‍ය හා සිවිල් සහ දේශපාලන ක්‍රියාකාරීන් කිහිපදෙනෙකු පසුගිය දිනවල සිදු කළ විවිධ ප්‍රකාශ මත ප්‍රශ්න කිරීම් හා අත්අඩංගුවට ගැනීම් කිහිපයක්ම සිදුව ඇතැයි විපක්ෂය පෙන්වා දෙයි.

අද පාර්ලිමේන්තුවේදීත් මේ ගැන අදහස් පළ විය. සමගි ජන බලවේගයේ පා.ම. ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා,
සමාජ මාධ්‍යවල මේ දවස්වල රජය විවේචනය කරන අය හිරේ දානවා. 30ක් දැනට හිරේ දාලා තියෙනවා කියලා ඊයේ පුවත්පතක දාලා තිබ්බා. අපි රජයට කියනවා ඒ විවේචන භාර ගන්න. අපි ඉන්නකොටත් විවේචන සමාජ මාධ්‍ය මගින් කරා. ඒරාන් ඇමතිතුමත් සි.අයි.ඩි එකට කතා කරලා තිබ්බා, සමාජ මාධ්‍යයේ යමක් ගියා කියලා ප්‍රෙස්කොන්ෆරන්ස් එකක කියපු දෙයක් සම්බන්ධයෙන්. බය කරන්න හදන්න එපා. මේක ප්‍රජාතන්ත්‍රවාදය තාම තියෙන රටක්. දැන් ඉතින් කතානායකතුමනි, ආණ්ඩුවට නිදහසට කාරණා නැහැ.
මේ අතර විපක්ෂ නායකවරයා ද මේ පිළිබඳව අද පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළේ ය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,
ආණ්ඩුවට මම කියන්න කැමතියි කරුණා කරලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හොඳින් කියවලා බලන්න කතා කිරීමේ භාෂණයේ නිදහස උත්තරීතර නීතියෙන් තහවුරු කරලා තියෙනවා. ඇත්තවශයෙන්ම ඉතාමත් නිර්ධය ලෙස මාධ්‍ය ප්‍රහාරයන්ට ලක්වුණ පුද්ගලයෙක් මම නමුත් අපි කිසිම දවසක එවන් ප්‍රහාරවලට ලක්වුනා කියලා මාධ්‍ය විවෙචනය කරන්න මාධ්‍ය දඩයම් කරන්නට මාධ්‍යට ඉලක්කගත ප්‍රහාර එල්ල කරන්නට අපි කවදාවත් කටයුතු කරලා නෑ. මේ මොහොත වනවිට සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයේ පුද්ගලයින් ගණනාවක් බිය වැද්දීමේ අත්අඩංගුවට ගැනීමේ ප්‍රශ්න කිරීමේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග ගණනාවක් රජය ක්‍රියාත්මක කරමින් තිබෙනවා. මම කරුණා කරලා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා විවෙචනවලට සවන්දෙන්න. මාධ්‍ය ක්ෂේත්‍රයට අත තබන්න ඒපා.
තව ද සිවිල් ක්‍රියාකාරිකයෙකු වන චිරන්ත අමරසිංහ මහතා ඊයේ පස්වරුවේ පිළියන්දල නිවසේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්තේ සමාජ මාධ්‍ය ඔස්සේ ඔහු කළ ප්‍රකාශයක් හේතුවෙනි. අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අමරසිංහ මහතා රුපියල් ලක්ෂයක පුද්ගලික ඇපයක් මත මුදාහැර තිබුණි.