මෙරට කොරෝනා මරණ ගණන 66ක් වෙයි..

මෙරට කොරෝනා ආසාදිත මරණ ගණන 66 දක්වා ඉහළට

by Staff writer 18-11-2020 | 7:17 AM

COLOMBO ( News 1st ) : මෙරට කොරෝනා ආසාදිතව කොරෝනා ආසාදිතව මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 66 ක් දක්වා ඉහළ ගියේ ය.

ඒ , ඊයේ (17) කොරෝනා ආසාදිතව තවත් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමගයි. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 65 , 82 හැවිරිදි පිරිමි පුද්ගලයින් දෙදෙනකු සහ 69, 71 සහ 81 හැවිරිදි කාන්තාවන් තිදෙනෙකි. ඔවුන් පස්දෙනාගෙන් තුන්දෙනෙකු මියගොස් ඇත්තේ සිය නිවෙස් තුළදී ය. 65 හැවිරිදි පිරිමි පුද්ගලයා කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි . රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඔහු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු පුනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයට සහ ඉන් පසුව වැලිකන්ද මුලික රෝහලට ඇතුළත් කර ඇති අතර එම රෝහලේදී ඔහු මියගොස් ඇති බවයි. මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ, අධික රුධිර පීඩනය සමග කොරොනා ආසාදනය වීමයි. දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි පිරිමි පුද්ගලයා නිවසේදී මියගොස් ඇති අතර දියවැඩියා රෝගයේ සංකූලතා සමග කොරෝනා ආසාදනය වීම ඔහුගේ මරණයට හේතුව බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. රත්මලාන ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි කාන්තාව සහ කිරුළපන ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි කාන්තාව සිය නිවසේදී ම මියගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. ඔවුන් දෙදෙනාගේ මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ, දියවැඩියා රෝගයේ සංකූලතා සහ අධික රුධිර පීඩනය සමග කොරෝනා ආසාදනය වීමයි. ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 81 හැවිරිදි කාන්තාව කොළඹ 2 ප්‍රදේශයේ පදිංචිකාරියක් ය. කොරෝනා ආසාදනය සමග නියුමෝනියාව වැළදීම ඇයගේ මරණයට හේතුව බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.