ගෝඨාභය රාජපක්ෂ ජනපති ධුරයට පත් වී අදට වසරයි

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් වී අදට වසරක් සපිරේ

by Staff writer 18-11-2020 | 12:27 PM

COLOMBO (News 1st) - ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් වී අදට වසරක් සපිරේ.

පසුගිය වසරේ නොවැම්බර් 16 වැනි දා පැවති ජනාධිපතිවරණයෙන් හැට නව ලක්ෂයකට අධික ජනතා වරමක් හිමිකරගත් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරි පත් විය. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ දිවුරුම් දුන්නේ පසුගිය වසරේ අද වැනි දිනක අනුරාධපුර රුවන්වැලි සෑ රදුන් අභියස පැවති උත්සවයකදීය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙරට සමාජ, ආර්ථික සහ දේශපාලන යන සෑම ක්ෂේත්‍රයකම වැදගත් පරිවර්තන රැසක් සිදු කළ වසරක් ලෙස ගෙවී ගිය වසර හැඳින්විය හැකිය. යහපත් රාජ්‍ය පාලනයක් වෙනුවෙන් මෙන්ම පොදුජන යහපත වෙනුවෙන් වැදගත් තීන්දු රැසක් මෙම කාලපරිච්ඡේදයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ ක්‍රියාවට නැංවුණු අතර ස්වාධීන ආර්ථික ප්‍රතිපත්තියක්, සැමට පොදු නීතියක් මෙන්ම අධ්‍යාපනය හා අනාගත දරු පරපුර වෙනුවෙන් ද රාජපක්ෂ මහතා ස්වකීය එක් වසරක පාලන කාලය තුළ ප්‍රගතිගාමී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළේ ය. රාජ්‍ය සේවය ශක්තිමත් කිරීම, දේශියත්වය සුරැකෙන ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් මෙන්ම ආගමික හා සංස්කෘතික පුනර්ජීවනයට ද ගෙවී ගිය කාලසීමාව තුළ ජනාධිපතිතුමා ඉටු කළ මෙහෙය සුවිශේෂීයි. ගෝලීය වසංගතයක් වූ කොරෝනා වෛසරය හමුවේ මෙරට ජනතාව ආරක්ෂා කර ගැනීමට කඩිනම් ක්‍රියාමාර්ග ගත් ගෝඨාභය රාජපක්ෂ මහතා වසංගතය හමුවේ කර්මාන්තකරුවන් රැක ගැනීමට මූල්‍ය පහසුකම් සැපයීම, පීඩාවට පත් ජනතාවට රුපියල් පන්දහසේ දීමනාවක් ලබාදීම, නවෝත්පාදන නිර්මාණ සඳහා රට විවෘත කිරීම මෙන්ම කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට පී.සී.ආර් පරීක්ෂණ වැඩි කිරීමට ද උපදෙස් ලබා දුන්නේ ය. භාරකාර ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය 16 කට සීමා කළ ගෝඨාභය රාජපක්ෂ මහතා වත්මන් ආණ්ඩුවේ ද කැබිනට් මණ්ඩලය 30 කට අඩු සංඛ්‍යාවකින් පවත්වා ගෙනයාමට සමත්ව තිබේ. රාජ්‍ය මාධ්‍ය, ස්වාධීන ආයතන බවට පත් කිරීම, පරිසර හානි නොකරන ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය මෙන්ම මුදල් නාස්තිය වළක්වමින් තම ධුරකාලය තුළ පාර්ලිමේන්තු සැසි වාර ආරම්භ කිරීමේදී හමුදා උත්තමාචාර වැනි දෑ අවලංගු කිරීම ද එතුමන් මෙම කාලය තුළ ගත් පියවර අතර වේ. උපාධිධාරීන් 50000 කට හා අඩු ආදායම් ලාභීන් ලක්ෂයකට රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ, ජීවන වියදම් අඩු කිරීම සඳහා පරිප්පු ටින් මාළු, බී ළූණූ සහ සීනි යන අත්‍යවශ්‍ය භාණ්ඩවල ආනයනික බදු ඉවත් කිරීම ආදිය ද ජනාධිපතිතුමා ක්‍රියාත්මක කළ වැඩසටහන් අතරට ඇතුළත් ය.