''තවත් ජීවිත අහිමි වේවි''-බයිඩ්ගෙන් අනතුරු ඇඟවීමක්

''වංසගත පාලනයට සම්බන්ධීකරණයක් නැති නම්, තවත් ජීවිත අහිමි වෙිවි'' - ජෝ බයිඩ්න්

by Sagarika Chathumali 17-11-2020 | 10:26 AM
COLOMBO (News 1st) : සිය ආගමනයට ඩොනල්ඩ් ට්‍රම්ප් තවදුරටත් බාධා කරන්නේ නම්, කොරෝනා වෛරසය නිසා අමෙරිකානු ජනතාවට තවදුරටත් ජීවිත අහිමිවිය හැකි බව ජෝ බයිඩ්න් පවසයි. අමෙරිකානු ජනාධිපතිවරණයෙන් තේරී පත්වූ ජෝ බයිඩ්න් ඩෙලවෙයාර්හි සිට අදහස් පළ කරමින් පවසන්නේ, කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට නම්, දෙපාර්ශ්වයේ සම්බන්ධීකරණයක් අවශ්‍ය බවයි. සිය කතාවේදී බයිඩ්න් වැඩිදුරටත් පවසා ඇත්තේ, මෙය අතිශයෝක්තියක් නොවන බවත් ජීවිත බේරා ගැනීම සඳහා සම්බන්ධීකරණයෙන් ක්‍රියා කළ යුතු අවස්ථාවක් බවත් ය. සම්බන්ධීකරණයෙන් කටයුතු නොකරන්නේ නම්, තවත් බෙහෝ මිනිසුන් මිය යා හැකි බව ද ඔහු පවසා ඇත. බයිඩ්න් පවසා ඇත්තේ, රට පුරා කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා එන්නත් බෙදා හැරීම අතිදැවැන්ත කාර්යයක් වන අතර ඒ සඳහා තම කණ්ඩායමට ලබන ජනවාරි 20 වනදා තෙක් බලා සිටීමට සිදු ව ඇති බවයි. පරාජයට පත්වී සිටියදී ත් තමා පරාජයට පත්වී සිටින බව පිළිගැනීම ජනපති ට්‍රම්ප් ප්‍රතික්ෂේප කිරීම සම්පූර්ණයෙන් ම වගකීම්විරහිතව හැසිරීමක් බව ද ඔහු පවසා ඇත. මේ අතර තමන් පරාජයට පත්වූ වූ බව තවදුරටත් පිළිගැනීමට කැමැත්තක් නොදක්වන ට්‍රම්ප් ඊයේ දිනයේද සිය ට්විටර් ගිණුමේ මෙවැනි සටහනක් තබා තිබේ. ''මා ජනාධිපතිවරණය ජය ගත්තා'' මේ අතර හිටපු ජනපති බිරිඳ මිෂෙල් ඔබාමා සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් පවසා ඇත්තේ, වෛරස ව්‍යාප්තිය සෙල්ලමක් නොවන බවයි.