අයවැය හෙට (17) පාර්ලිමේන්තුවට

අයවැය හෙට (17) පාර්ලිමේන්තුවට

by Sagarika Chathumali 16-11-2020 | 4:13 PM
COLOMBO (News 1st) : 2021 වසර සඳහා වන අයවැය අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් හෙට (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසුවේ, හෙට පස්වරු 1. 40 ට පාර්ලිමේන්තුව රැස්වන බවයි. ඉන් පසුව මහින්ද රාජපක්ෂ මහතා විසින් අයවැය ප්‍රකාශය සිදු කිරීමට නියමිතව ඇත. ලබන 18 වැනි දා සිට 21 වැනි දා දක්වා අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වෙන අතර දෙවන වර කියවීමේ ඡන්ද විමසීම 21 වැනිදා පස්වරු 5.00ට පැවැත්වේ. ඉන් අනතුරුව අයවැය කාරක සභා අවස්ථාව ලබන 23 වැනිදා සිට දෙසැම්බර් 10 වැනිදා දක්වා පැවැත්වේ. දෙසැම්බර් 10 වැනි දින පස්වරු 5.00ට ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත ය. අයවැය ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන හෙට (17) දිනයේ සිට අයවැය විවාදය පැවැත්වෙන සම්පූර්ණ කාල සීමාව තුළ සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන් සහ රෙගුලාසීන්ට අනුකූලව පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව මහ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය. තව ද හෙට දිනයේ පාර්ලිමේන්තු රැස්වීම සඳහා ආරාධනා ලැබ ඇත්තේ, විදේශ තානාපතිවරු සහ මුදල් අමාත්‍යංශයේ අවසර ලත් නිලධාරීන් පමණි. අයවැය ප්‍රකාශය පැවැත්වෙන කාල සීමාව තුළ කථානායක ගැලරියේ සෞඛ්‍ය ආරක්ෂිත විධි විධානයන්ට යටත්ව ආසන පනවා ඇති අතර මහජන ගැලරිය සහ මාධ්‍ය ගැලරිය තවදුරටත් වසා තැබෙනු ඇති. තව ද අයවැය ප්‍රකාශය සිදු කිරීමෙන් පසු මුදල් අමාත්‍යවරයා විසින් සම්ප්‍රදායානුකූලව පවත්වන ලබන තේ පැන් සංග්‍රහය මෙවරත් පැවැත්වෙන අතර එය පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්, විදේශ තානාපතිවරුන් සහ ආරාධිතයින්ට පමණක් සීමා වේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් හෙට දිනයේ මෙලෙස ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ , මෙරට 75 වැනි අයවැය වාර්තාවයි.