අමෙරිකාවේ COVID ව්‍යාප්තිය යළි ඉහළට

කොරෝනා ලැයිස්තුවේ මුල් තැන ගත් අමෙරිකාවේ වෛරස ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යයි

by Sagarika Chathumali 16-11-2020 | 3:39 PM
COLOMBO (News 1st) : කොරෝනා වෛරස ව්‍යාප්තිය යළි ඉහළ යාමත් සමග මිචිගන් සහ වොෂින්ටන් ප්‍රාන්ත දැඩි සීමා කිරීම් යොදවමින් වසංගත ව්‍යාප්තිය පාලනය කිරීමේ දැඩි උත්සාහයක නිරතව සිටී. මිචිගන්හි විද්‍යාලවල ලබන බදාදා සිට ඉගැන්වීම් කටයුතු සහ ආපනශාලා අභ්‍යන්තර සේවා සැපයීම් අත්හිටුවන ලෙස නියෝග කර තිබේ. කායවර්ධන මධ්‍යස්ථාන, සිනමා ශාලා, රංග ශාලා ද වසා තැබෙනු ඇති. මිචිගන් සහ වොෂින්ටන් ප්‍රාන්ත දෙකේම ආසාදිතයින් සංඛ්‍යාව පසුගිය සති දෙක තුළ දෙගුණයක් වී ඇත. මිචිගන් ආණ්ඩුකාරවරිය පවසන්නේ, ප්‍රාන්තය ප්‍රපාතයකට වැටී ඇති බවත් කඩිනම්, පියවර නොගත හොත් සතියකට කොවිඩ් මරණ 1,000 ක් වාර්තා වීමේ ඉඩකඩ පවතින බවත් ය. ටෙක්සාස් ප්‍රාන්තයෙන් පසු මිලියනය ඉක්මවූ ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තවන දෙවන ප්‍රාන්තය බවට පත්ව ඇත්තේ, කැලිෆෝනියාවයි. වෛසර ව්‍යාප්තිය ඉහළ යාමත් සමග ආයෝවා, වෙස්ට් වර්ජිනියා, යූටාහ් සහ උතුරු ඩැකෝටා යන ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් පාන්ත මුව ආවරණ පළඳින ලෙස ජනතාවට නියෝගය කර තිබේ. ඔහියෝ ආණ්ඩුකාරවරයා නියෝග කර ඇත්තේ, වෛරස ව්‍යාප්තිය පාලනය කර ගත නොහැක තත්ත්වයකට පැමිණය හොත් වහාම මත්පැන් අලෙවිසැල්, කායවර්ධන මධ්‍යස්ථාන වසා දැමිය යුතු බවයි. මේ අතර මිනසෝටාහි මත්පැන් අලෙවිසල් සහ ආපනශාලා රාත්‍රී 10.00 වන විට වසා දැමිය යුතු ය. විස්කොන්සින් සහ නෙවාඩා ප්‍රාන්ත වැසියන්ට බලධාරීන් නියෝග කර ඇත්තේ, සති දෙකක කාලයක් නිවෙස් තුළ ම රැඳී සිටින ලෙසයි. මීට අමතරව කැලිෆෝනියා, ඔරිගන් සහ වොෂින්ටන් ප්‍රාන්ත වැසියන්ට සංචරණ උපදේශනයක් ලබා දෙමින් පවසා ඇත්තේ, අත්‍යාවශ්‍ය නොවන ගමන්බිමන්වලින් වළකින ලෙසයි. නිව්යෝර්ක්හි මත්පැන් අලෙවිසැල් රාත්‍රී 10.00 වන විට වසා දැමිය යුතු අතර එකවර රැස්විය හැකි පුද්ගලයින් සංඛ්‍යාව ද 10 ක් දක්වා අඩු කර තිබේ. චිකාගෝ නගරයේ ද එකවර රැස්විය හැකි සංඛ්‍යාව 10ක් දක්වා අඩු කර ඇති අතර නගරවාසීන්ට දැනුම් දී ඇත්තේ, නිවසේ රැඳී සිටින ලෙසයි. එහි අත්‍යවාශ්‍ය නොවන ව්‍යාපාර රාත්‍රී 11 වනවිට වසා දැමිය යුතු වේ. ඉන්ඩියානා යළි විවෘත කිරීම අත්හිටුවා ඇති අතර නියෝග කර ඇත්තේ, එක්තුවීම් සහ උත්සව සීමා කරන ලෙසයි. මෙිරිලන්ඩ්හි ආපනශාලාවලට ප්‍රාන්ත බලධාරීන් නියෝග කර ඇත්තේ, ආපනශාලා තුළ පිරිස් 50%ක් දක්වා අඩු කරන ලෙසයි. ජෝර්ජියා තාක්‍ෂණ ආයතනයේ පර්යේෂකයින් සොයා ගැනීමකට අනුව අමෙරිකාවේ දරුණු ලෙස හානියට පත් ප්‍රදේශවල පුද්ගලයින් 10 දෙනෙකුගෙන් යුත් රැස්වීමකදී පවා කොවිඩ් වැළඳුණු පුද්ගලයෙකු සිටීමේ අවදානම 100% කට විය හැකි බවයි. මේ අතර අමෙරිකාවෙන් මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 11 ඉක්මවා ගොසිනි. ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තාවන අමෙරිකාවේ දෛනිකව මරණ 900ක් පමණ වාර්තා වන අතර මේ වනවිට වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව ලක්ෂ 2 ඉක්මවා ගොසිනි.