කල්ලාරු එළිකිරීම:යළි වනවගා කරන්නැයි,රිෂාඩ්ට නියෝග

විල්පත්තු, කල්ලාරු එළි කිරීම නීතිවිරෝධියි, පෞ. ධනයෙන් වන වගා කරන්නැයි, හිටපු ඇමති රිෂාඩ්ට නියෝග

by Staff writer 16-11-2020 | 11:07 AM

COLOMBO (News 1st) : අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීමේ මුවාවෙන් විල්පත්තු වනෝද්‍යානය අවට කල්ආරු ප්‍රදේශයේ අක්කර ගණනාවක් එළි කිරීම නීති විරෝධි බව අභියාචනාධිකරණය අද තීන්දු කර තිබේ.

තම පෞද්ගලික මුදලින්, නීති විරෝධිව එළි කළ ඉඩම්වල වන වගාව යළි සිදු කරන ලෙසට හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතාට නියෝග කරමින් මෙම තීන්දුව ලබා දුන්නේ, ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන විනිසුරු මඩුල්ල විසිනි. උතුරේ අවතැන් ජනතාව නැවත පදිංචි කිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් විල්පත්තු අභය භූමිය ආශ්‍රිත කල්ආරු ප්‍රදේශයේ අක්කර සිය ගණනක් නීති විරෝධි අන්දමින් එළි පෙහෙළි කිරීම අභියෝගයට ලක් කරමින් පරිසර යුක්ති කේන්ද්‍රය මෙම පෙත්සම ගොනු කර තිබුණි. වගඋත්තරකාර රිෂාඩ් බදියුදීන් මහතා අධිකරණ නියෝගය පරිදි වන වගාව නැවත සිදු කරන්නේ දැයි අධීක්ෂණය කර අධිකරණයට කරුණු දක්වන ලෙසට ද විනිසුරු මඩුල්ල වනජීවි අමාත්‍යාංශයට සහ වන රක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු බලධාරීන්ට නියෝග කළේ ය. එහි තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල රජයට සහ රිෂාඩ් බදියුදීන් මහතා ඇතුළු පාර්ශවයට නියෝග කළේ පෙත්සම්කාර පරිසර යුක්ති කේන්ද්‍රයට ඇස්තමේන්තු නඩු ගාස්තු ද ගෙවන ලෙසයි.