හෙට විශේෂ කාර්යාල දුම්රිය ධාවනයට පියවර

Lockdown ප්‍රදේශයන්හි දුම්රිය ස්ථානවල නොනවත්වා කාර්යාල දුම්රිය ධාවනය පියවර

by Staff writer 15-11-2020 | 5:23 PM

COLOMBO (News 1st) - හෙට (16) උදෑසන සහ සවස් කාලයේ විශේෂ කාර්යාල දුම්රිය ධාවනය කිරීමට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එහි දැක්වෙන්නේ, හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති පොලිස් බල ප්‍රදේශවල දුම්රියන් නොනවත්වා ධාවනය කෙරෙන බවය. කෙසේ වෙතත් හුදෙකලා කර ඇති දුම්රිය ස්ථාන අතුරින් කොටුව දුම්රිය ස්ථානයෙන් පමණක් සියලු දුම්රියන්වල ගමන ආරම්භය සහ ගමනාන්තය සිදු කරනු ඇති. ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රියන් නොනවත්වා ධාවනය වන ස්ථාන වන්නේ, මරදාන, වනවාසල, රාගම, දෙමටගොඩ, එඩේරමුල්ල, වල්පොල, කැලණිය, හොරපේ සහ බටුවත්ත යන දුම්රිය ස්ථානයි. පුත්තලම් මාර්ගයේ, පේරලන්ද, කුඩහකපොල, කට්ටුව, ජාඇල, කුරණ, තුඩැල්ල සහ මීගමුව යන දුම්රිය ස්ථානවල ද දුම්රියන් නොනවත්වා ධාවනය වනු ඇති. කැලණිවැලි මාර්ගයේ බේස්ලයින් පාර සහ කොටාපාර දුම්රිය ස්ථානවල පමණක් දුම්රිය නොනවත්වා ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. මුහුදුබඩ මාර්ගයේ මහලේකම් කාර්යාලය, කොම්පඤ්ඤ වීදිය සහ අඟුලාන දුම්රිය ස්ථානවලද දුම්රියන් නොනවත්වා ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.