සිඩ්නි චන්ද්‍රසේකර අවසන් ගමන් යයි..

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, ප්‍රවීණ කලාකරු සිඩ්නි චන්ද්‍රසේකර දැයෙන් සමු ගනී..

by Staff writer 15-11-2020 | 8:02 PM

COLOMBO (News 1st) - සොඳුරු නිර්මාණ දහස් ගණනක් රටට දායාද කරමින් සහෘද සිත් සතන් අමන්දානන්දයට පත් කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, ප්‍රවීණ කලාකරු සිඩ්නි චන්ද්‍රසේකර මහතා අද(15) දැයෙන් සමුගත්තේ ය.

එතුමන්ගේ අවසන් කටයුතු සිදු කෙරුණේ බොරැල්ල පොදු සුසාන භූමියේදීය. රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි සිඩ්නි චන්ද්‍රසේකර මහතා ඊයේ(14) පෙරවරුවේ කොළඹදී අභාවප්‍රාප්ත වන විට වයස අවුරුදු 61 කි. දේහය අද පස්වරුව වනතෙක් බොරැල්ල, ජයරත්න මල්ශාලාවේ රෙස්පෙක්ට් හෝම් ශාලිකාවේ තැන්පත් කර තිබුණි. කලා ක්ෂේත්‍රයේ අතිවිශිෂ්ටයෙකු මෙන්ම විශාල පිරිසකට ගුරුහරුකම් දුන් ප්‍රවීණයෙකු වූ සිඩ්නි චන්ද්‍රසේකර මහතාට අවසන් ගෞරව පුද කිරීම සඳහා විශාල පිරිසක් පැමිණියහ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද ඔහුගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කර තිබුණි. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද සිඩ්නි චන්ද්‍රසේකර මහතාට අවසන් ගෞරව පුද කළේ ය. ආගමික වතාවත් සිදු කිරීමෙන් පසු චන්ද්‍රසේකර මහතාගේ දේහය බොරැල්ල පොදු සුසාන භූමිය වෙත රැගෙන එනු ලැබුවේය. සිඩ්නි චන්ද්‍රසේකර මහතා දශක ගණනාවක් තිස්සේ විවිධ ක්ෂේත්‍ර තුළ සිය ප්‍රතිභාව විදහා දැක් වූ අතර ගීත කලාව සහ ටෙලිනාට්‍ය ඉන් ප්‍රධානයි. නිදිකුම්බා මල්, කුමාරයාණෙනි, පියාඹන අශ්වයා, සමුද්‍ර ඡායා, පෙම්බරයාණෙනි සහ A-9 ඔහුගේ නිර්මාණවලින් කිහිපයකි. ගී පද රචනා කලාව, තමා සතු අපූර්ව කුසලතාවෙන් ඔප දැමූ චන්ද්‍රසේකර මහතා සහෘද හදවත්වල සදා රැඳී පවතින ගීත රැසක් එළිදැක්විය. ඒ අතුරින්, ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ, අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා, ප්‍රේම දඩයම, මේ ආදරයයි, මේ අපේ දේශයයි, ගම්මැද්ද යන ගීත බොහෝ ජනප්‍රිය විය. මෑත කාලයේ මුළු රටක් එක්ව ගායනා කළ 'නැගිටිමු - ශ්‍රී ලංකා' ගීතය, චන්ද්‍රසේකර මහතා රචනා කළ සුප්‍රකට ගීතයකි. උපදේශකවරයකු ලෙස නිව්ස්ෆස්ට් සමග එක්වෙමින් අමිල මෙහෙවරක නිරත වූ ඔහු මෙලෙස අපෙන් සමුගෙන ගියත්, ඔහුගේ මතකය සදානුස්මරණීයයි..!!