මාතෘ භූමියට නිර්මාණ රැසක් දායාද කර ජීවන ගමනට සමුදුන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිඩ්නි චන්ද්‍රසේකර

by Staff writer 14-11-2020 | 8:04 PM

COLOMBO (News 1st) : ලොව බිහිවන සුන්දර මිනිසුන් ලෝකය එළිය කර නිසොල්මනේ නික්ම ගියත් ඔවුන් පිළිබඳ මතකය සදාතනික සිහිවටනයක් සේ දනන් තුඩ තුඩ රැඳී පවතී.

ඔහු එවැනි අතිශය සුන්දර මිනිසෙක් ය. රටක් වටිනා අග්‍රගණ්‍ය නිර්මාණකරුවෙකු ලෙස නම කියූ සැණින් රටක් හඳුනන ඔහු සිඩ්නි චන්ද්‍රසේකර යි. 61 හැවිරිදි ඔහු අද(14) පෙරවරුවේ අප සැමගෙන් සමුගෙන ගියේ ය. ටෙලිනාට්‍ය කලාව, රූපවාහිනී වැඩසටහන් කලාව, ගීත රචනා කලාව මෙන්ම ප්‍රවෘත්ති කලාව සිය ප්‍රතිභාව තුළින් දික්විජය කළ තවත් සොදුරු ආඥාදායකයෙකු බවට සිඩ්නි චන්ද්‍රසේකර මහතා පත්විය. කොළඹ උපන් ඔහු, කොළඹ ආනන්දයෙන් අධ්‍යාපන ලබා පාසල් ගමනින් පසු ටෙලිවිශනයේ පුරෝගාමී බිම වූ ශ්‍රී ලංකා රූපවාහිනියට සම්බන්ධ වන්නේ, මෙරට හඬකැවීම් ශිල්පියේ පුරෝගාමියා වූ ටයිටස් තොටවත්තයන්ගේ ගුරුහරුකම් ලැබීමේ භාග්‍ය උදාකර ගනිමින් ය. මල්ගුඩි දවස, රසාර වැනි වැඩසටහන්වලට දායක වන ඔහු තොටවත්තයන් සමග එක්ව මෙරට පළමු මපට් අත්හදා බැලීම වන අත්රූ පැලැස්සට සිය දායකත්වය ලබා දෙන්නේය. පසුකලෙක රූපවාහිනී සංස්ථාවේ නාට්‍ය අංශයේ නිෂ්පාදකවරයෙකු ලෙස විප්ලවීය වෙනසක් සිදු කරන මේ සොඳුරු නිර්මාණකරුවා මෙරට පළමුවරට මැදිරියක බහු කැමරා යොදා ගනිමින් නිර්මාණය කළ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂකවරයා වීමට භාග්‍ය උදාකර ගත්තේ ය. ඒ , 'නිදිකුම්බා මල්' ටෙලි නාට්‍ය මෙරට ප්‍රේක්ෂකයාට දායා ද කරමින් ය. ඉන් නොනැවතුණු සිඩ්නි නිර්මාණය කළ, කුමාරයාණෙනි, පියාඹන අස්සයා, සමුද්‍ර ජායා, පෙම්බරයාණෙනි මෙන්ම සිරස ටී.වී. ඔස්සේ විකාශය වූ A-9 මෙරට ප්‍රේක්ෂක හදවත් තුළ ළැඟුම් ගත් නිර්මාණ අතර ප්‍රධානයි. මෙරට ප්‍රවෘත්ති කලාවට අලුත් අත්දැකීමක් එක් කළ ස්වර්ණවාහිනීයේ ලයිව් ඇට් එයිට් සහ ස්වර්ණෝදය වැනි වැඩසටහන් ද ඔහුගේ නිර්මාණ දිවියේ තවත් පැතිකඩකි. ගීත රචනා කලාව ඔස්සේ තරුණ හදවත් ආමන්ත්‍රණය කළ සිඩ්නි චන්ද්‍රසේකරයන්ගේ ඒ නිර්මාණ සැබවින්ම මතු මතුත් දශක ගණනක් මේ කලා කෙතට සුපිරි ගී තරු බිහිකරන්නට පෙරමග සලකුණක්ම වනු ඇති. නෙතු පියවෙන නිමේෂය තෙක්ම මේ සුවිශේෂී කලාකරුවා සිරස මාධ්‍ය ජාලය සමග එක්ව නිර්මාණ රැසක් මේ මාතෘ භූමිය වෙනුවෙන් දායාද කළේ ය. මෙරට පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව (CHOGM) වෙනුවෙන් අප නිර්මාණය කළ ශ්‍රී ලංකාව මගේ මව්බිමයි ගීතය, රන්භූමි , සිතන්න යන ගීත නිර්මාණ රටක් ලෙස ඔබට, මට මව්බිමේ වටිනාකම් කියාදුන් ඔහුගේ සුවිශේෂි නිර්මාණ අතර ප්‍රධානයි. ඔහු සිරස නිව්ස් ෆස්ට් හා එක්වන්නේ උපදේශකවරයකු ලෙසය. මෙරට මිනිසුන්ගේ හදවතේ රිද්මයට වේදිකාවක් තනාදිය යුතු බවට එකහෙලා අදහස් දැක්වූ සිඩ්නි ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රිය 'දවස' වැඩසටහනේ සංකල්පයේ හිමිකරුවායි. මෙරට දේශපාලනයේ සැඟවුණු යතාර්ථය සිඩ්නි රූපවාහිනී තිරයට රැගෙන ආවේ Good Bad Ugly ප්‍රහසනය හරහායි. මෙරට දිරිය කතුන් සවිබල ගන්වන්නට නිවුස් ෆස්ට් ආරම්භ කළ වනිතාභිමාන තේමා ගීතය ඔහුගේ පන්හිදෙන් රචනා වූ තවත් නිර්මාණයකි. 2019 වසරේ අප්‍රේල් මාසයේ මෙරට ජනහදවත් අවිනිශ්චිත බවින් ඇලලී ගිය මොහොතක යළි අපේකෂාවේ සිතුවිල් මොදු කළේ, ඔහුගේ පදවැල් තුළින් ගීතවත් වූ මේ නිර්මාණයයි. අපේම රටේ අපේම මිනිසුන්ගේ කඳුළ වෙනුවට සතුට එක්කරන්නට ගම්දනව් පුරා විහිදී යන ගම්මැද්දට දායක වූ මේ සොදුරු මිනිසා ඒ වෙනුවෙන්ද නිර්මාණයක් ද දායාද කළේ ය. රටම කොරෝනා වසංගතය සමග සටන් කරන මොහොතේ ගිලන්ව සිටි සිඩ්නි තම මව්බ්ම වෙනුවෙන් අවසන් යුතුකමත් ඉටු කළේ, සැමදා තමන් ආදරය කළ පන්හිඳට යළි ජීවය දෙමින් ය. රටක් එක්ව හෙටක් වෙනුවෙන් ගැයූ මේ උදාන ගීතය 'නැගිටිමු ශ්‍රී ලංකා' මතු මතුත් මෙරට පුරවැසියන්ගේ මුවඟ රැව් පිළිරැව් දෙනු නොඅනුමානයි. ආදරණීය සිඩ්නි....ඔබ අද අපෙන් වෙන්ව ගොස් ඇතත් ඔබ කියූ ලෙසම ඇස්දෙක පියාන නිදා ගන්නට ඔබට අවසර දෙන්නට අප සූදානම් නැහැ...!