by Staff writer 14-11-2020 | 7:19 PM
COLOMBO (News 1st) : විවිධ නීති විරෝධී ක්‍රියා හා සංවර්ධන කටයුතු හේතුවෙන් පුරාවිද්‍යාත්මක උරුමයන්වල පැවැත්මට තර්ජනයක් මතුව ඇති බව නවතම වාර්තාවකින් අනාවරණය වෙයි.
එහි දැක්වෙන්නේ සිදු කළ පුරාවිද්‍යාත්මක ගවේෂණ පිළිබඳව විධිමත් දත්ත ගොනුවක් හෝ පද්ධතියක් මෙතෙක් පිළියෙළ කර නොමැති බවයි.
මේ බව හෙළිවී ඇත්තේ , ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක උරුමයන් කළමනාකරණය නමින් විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවකින් ය.
අදාළ වාර්තාවෙන් පෙන්වා දෙන්නේ , වර්තමානයේදී සිදුවන විවිධ නීති විරෝධී ක්‍රියාකාරකම් හා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වැනි විවිධ ක්‍රියාදාමයන් හේතුවෙන් පුරාවිද්‍යාත්මක උරුමයන්හි පැවැත්මට තර්ජනයක් මතුවී ඇති බවයි.
වාර්තාවේ දැක්වෙන කරුණුවලට අනුව ජාතික පුරාවිද්‍යා ප්‍රතිපත්තිය හඳුන්වා දී මේ වනවිට වසර 10 කට වැඩි කාලයක් ගත වුව ද එහි අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කර නැහැ.
වර්තමානයට ගැලපෙන අයුරින් එම ජාතික ප්‍රතිපත්තිය යාවත්කාලීන වී නොමැත.
පුරාවස්තු උරුමයන්ට හානිවීම් ඉහළ යාමට නීතියේ අඩුපාඩු මෙන්ම, අවශ්‍ය මානව සම්පත් හා අනෙකුත් සම්පත්වල හිඟතාව ද හේතුවකි.
ඇතැම් දිස්ත්‍රික්කවල, ඉකුත් වසර 04 ක කාළය තුළ පුරාවිද්‍යා රක්ෂිත ස්ථාන ස්මාරක ආදිය පවතින ප්‍රදේශ හඳුනා ගැනීමට වැඩසටහන් ක්‍රියාත්මක කර නොමැත.
සෙසු දිස්ත්‍රික්කවල ද සිදුව ඇති පුරාවිද්‍යා විනාශ සංරක්ෂණ දෝෂ හා ප්‍රමාදයන් පිළිබඳව ද මෙහි කරුණු රැසක් හෙළිදරව් කර තිබේ.
වාර්තාවෙන් අවධාරණය කරන්නේ, හඳුනාගත් පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරක පෞරාණික ස්මාරක පුරාවිද්‍යා රක්ෂික ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට අවශ්‍ය කඩිනම් පියවර ගත යුතු බවයි.
පුරාවිද්‍යාත්මක සම්පත් කළමනාකරණය සහ පර්යේෂණ සඳහා ඊට ප්‍රවීණතාවයක් ඇති පුද්ගලයින් යොදවා ගැනීමට මෙන්ම දෙපාර්තමේන්තුවේ සේවක පුරප්පාඩු පිරවීම සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගැනීමට ද විගණකාධිපතිවරයා නිර්දේශ කරයි.