අද (13) වනවිට මෙරට COVID තත්ත්වය

අද (13) වනවිට මෙරට COVID තත්ත්වය

by Staff writer 13-11-2020 | 6:18 AM
COLOMBO (News 1st) : කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු මුල්ලේරියාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ ජීවිතක්ෂයට පත්වූහ. ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 48 ක් දක්වා ඉහළ යනු ඇති. කොළඹ - 12 පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති අතර මරණයට හේතුව නිදන්ගත පෙනහලු රෝගය සමග කොරෝනා ආසාදනය වීම බව සෞඛ්‍යය අමාත්‍යාංශය සඳහන් කළේ ය. මියගිය අනෙක් පුද්ගලයා 45 හැවිරිදි මීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු , කොරෝනා හේතුවෙන් ඇති වූ නිව්මෝනියා සමග ද්වීතික බැක්ටිරියා ආසාදනයෙන් මියගොස් තිබේ. මේ අතර නව කොරෝනා ආසාදිතයින් 369 දෙනෙකු ඊයේ හඳුනා ගැනිණ. ඔවුන් සියලු දෙනා පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් ය. ඒ අනුව , මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 15, 723කි. ආසාදිතයින් 470 දෙනෙකු ඊයේ සුවය ලැබූහ. ඒ අනුව කොරෝනා ආසාදිතව සිට සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 10,653 ක් දක්වා ඉහළ යනු ඇති. ආසාදිතයින් 5022 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍යය අමාත්‍යාංශය සඳහන් කළේ ය. මේ අතර,කොළඹ නගරයෙන් ආසාධිතයින් 295 දෙනෙකු ඊයේ හඳුනා ගැනිණ. කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය දිනූකා ගුරුගේ මහත්මිය පැවසුවේ ඊයේ PCR පරීක්ෂණ 1500 ක් සිදු කළ බවයි. අද දිනයේ පරීක්ෂණ 1000 ක්, ජින්තුපිටිය, මාලිගාවත්ත, වැල්ලවත්ත, බොරැල්ල හා කොටහේන යන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් සිදු කිරිමට අපේක්ෂා කරන බව ඇය සඳහන් කළා ය. වෛද්‍යවරිය වැඩිදුරටත් පැවුසවේ, මේ වන විට හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් , එලෙස PCR පරීක්ෂණයට ලක් කරන බවයි.