Face Mask බැහැර කිරීමට අදාළව උපදෙස් මාලාවක්

Face Mask ආදි අපද්‍රව්‍ය බැහැර කිරීමට අදාළව උපදෙස් මාලාවක්

by Sagarika Chathumali 11-11-2020 | 9:39 AM
COLOMBO (News 1st) : කොවිඩ් -19 තත්ත්වය හේතුවෙන් හුදකලා කර ඇති ප්‍රදේශවල, නිවාසවල හා පොදුවේ පුද්ගලයින් විසින් භාවිත කරන මුව වැසුම් ආදි අපද්‍රව්‍ය බැහැර කිරීමට අදාළව මධ්‍යම පරිසර අධිකාරිය උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මධ්‍යම පරිසර අධිකාරිය පවසන්නේ, සියලු පළාත් පාලන ආයතන වෙත මෙම උපදෙස් මාලාව නිකුත් කර ඇති බවයි. ඒ අනුව, *හුදකලා කර ඇති ප්‍රදේශවල සායනික අපද්‍රව්‍ය බැහැර කිරීමට වෙනත් වාහන හා සේවකයින් යෙදවිය යුතු ය. *කොවිඩ් ආසාදිතයින් භාවිත කරන මුව වැසුම් අත්වැසුම් කහ පැහැති බෑගයකට දමා වෙන් කළ යුතු ය. *කහ පැහැති බෑග්වල දමා ඇති අපද්‍රව්‍ය කිසිවිටෙක ප්‍රතිචක්‍රීකරණය නොකළ යුතු අතර විධිමත් ලෙස විනාශ කළ යුතු ය. *වසංගතයෙන් ආරක්ෂාවීම සඳහා පොදු ජනතාව භාවිත කරන මුවවැසුම් හා අත්වැසුම් බැහැර කිරීමට පෙර සෝදා වියළා ඉන් අනතුරුව බැහැර කළ යුතු ය. ආසාදිතයින් සහ වංසගතයෙන් වැළකීමට ජනතාව භාවිත කරන අපද්‍රව්‍ය දැඩි ලෙස පරිසරයට හානි කරවීම සැලකිල්ලට ලෙන මධ්‍යම පරිසර අධිකාරිය විසින් මෙම උපදෙස් මාලාව නිකුත් කරනු ලැබ තිබේ.