IPL ශූරතාවය මුම්බායි ඉන්දියන්ස්ට...

මහේල පුහුණුකාරීත්වය දැරූ මුම්බායි ඉන්දියන්ස් 5 වැනි වරටත් IPL ශූරතාවය දිනා ගනී

by Staff writer 11-11-2020 | 7:33 AM

News 1st - මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම 5 වැනි වරටත් අයි.පී.එල් පන්දුවාර 20යි 20 ක්‍රිකට් කුසලානය දිනා ගෙන තිබේ.

ඒ, මෙවර තරගාවලියේ අවසන් තරගයේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරාජය කරමිනි. 2020 අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඩුබායිහිදී ඊයේ පැවැත්විය. කාසියේ වාසිය හිමි කරගෙන පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ ආරම්භක කඩුල්ල ලෙස මාකස් ස්ටොයිනිස් ලකුණු නොලබා පිටියෙන් ඉවත් විය. ආජින්ක්‍යාර රහානේ ලකුණු 2යි. ශිකර් ධවාන් ලකුණු 15කට දවා ගැනීමට ජයන්ත් යාදේව් සමත් විය. අනතුරුව පිටියේ ස්ථාවර වූ ශ්‍රෙයාස් අයියර් සහ රිෂාබ් පාන්ට් අතර සිව්වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 96 කි. රිශාබ් පාන්ට්, පන්දු 38 කින් ලකුණු 56ක් රැස් කළ අතර ඊට 4 පහර 4ක් සහ 6 පහර 2ක් ඇතුළත් විය. නොදැවී ක්‍රීඩා කළ ශ්‍රෙයාස් අයියර් ලකුණු 65ක් රැස් කළේ, පන්දු 50 කිනි. 4 පහර 6ක් සහ 6 පහර 2ක් ඊට ඇතුළත් විය. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ දක්ෂ පන්දු යැවීම අබියස දිල්ලි කැපිටල්ස් පිතිකරුවන් 5 දෙනෙකුටම ලකුණු 10 සීමාව පසු කිරීමට හැකි වූයේ නැත. ට්‍රෙන්ට් බොව්ල්ට් ලකුණු 30ට කඩුලු 3 යි. නෙදන් කෝල්ටර් නයිල් ලකුණු 29ට කඩුලු 2ක් දවා ගත්තේ ය. පන්දුවාර 20 අවසානයේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට කඩුලු 7ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 156ක් පමණි. ලකුණු 157ක ඉලක්කයකින් පිටියට පිවිසි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පළමු කඩුල්ලට නායක රෝහිත් ශර්මා සහ ක්වින්ටන් ඩී කොක් ලකුණු 45ක සබඳතාවක් ගොඩනැගුවේ ය. ඩී කොක් ලකුණු 20යි. අනතුරුව රෝහිත් ශර්මා සමග එක් වූ සූර්යකුමාර් යාදෙව් දෙවැනි කඩුල්ලට ලකුණු 45ක සබඳතාවක් ගොඩනැගුවේ ය. යාදෙව් ලකුණු 19යි. රෝහිත් ශර්මා පන්දු 51කින් ලකුණු 68ක් රැස් කළේ ය. 4 පහර 5ක් සහ 6 පහර 4ක් ඔහුගේ ඉනිමට ඇතුළත් වේ. ඉශාන් කිශාන් නොදැවී ලකුණු 33යි. පන්දුවාර 18 යි පන්දු 4ක් අවසානයේදී කඩුලු 5ක් පමණක් දැවී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත ඉලක්කය පසු කළේ ය. තරගයේ වීරයා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ට්‍රෙන්ට් බොව්ල්ට්. තරගාවලියේ වීරයා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ජොෆ්රා ආචර් ය. හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන අතර එම කණ්ඩායම 2013, 2015, 2017 සහ 2019 වසරවලදී ද අයි.පී.එල් කුසලානය දිනා සිටි. ඒ අනුව ඔවුන් වාර්තා අතරට එක්ව සිටින්නේ, තරගාවලි ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම ලෙසයි.