කොවිඩ් එන්නත ගැන WHO ඉඟිය..

කොවිඩ් එන්නත ලැබෙන්නේ කවදා ද? ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉඟියක්..

by Staff writer 11-11-2020 | 7:47 PM

COLOMBO (News 1st) - කොවිඩ් එන්නතක් මෙරට ජනගහනයෙන් 20% කට ලබා දීමේ සූදානමක් ගැන පසුගිය දිනවල අදහස් පල විය.

අප මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විමසීමක් කළෙමු. ඊට ප්‍රතිචාර දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය රෙයිසා පෙන්ඩ්සි මහත්මිය පැවසුවේ, කෝවිඩ් 19 එන්නත් 200 ක් විවිධ අදියරවල පවතින අතර එයින් 47 ක් මිනිසුන් භාවිත කරමින් සිදු කරන අත්හදාබැලීම් මට්ටමේ පවතින බවයි. මෙම අත්හදාබැලීම්වල ප්‍රතිඵල ලැබුණු පසුව සහ නියාමන අධිකාරින්ගෙන් මෙම එන්නත්වල ආරක්ෂිත භාවය පිළිබඳව වාර්තා ලැබුණු පසුව ඒවා නිපදවීම ආරම්භ කිරීමට නියමිතය. 2021 වසරේ දෙවන කාර්තුවේදී පමණ මෙම එන්නත් රටවල් අතර බෙදාහැරීමට ලෝක සොඛ්‍ය සංවිධානය අපේක්ෂා කරන බව මෙරට නියෝජිතවරිය සඳහන් කළා ය. ඇය සඳහන් කළේ, 2021 වසරේ පළමු කාර්තුවේ මෙම එන්නත කොරෝනා වෛරසයෙන් දැඩි බලපෑමට ලක් වූ සමාජයේ කොටස් අතර බෙදාහැරීමට ද අපේක්ෂා කරන බවයි. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද තවදුරටත් අනුගමනය කරන ලෙස ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියේ මෙම වෛරසයට එරෙහිව එන්නත නිපදවීම තවමත් අවසාන වී නොමැති බව පෙන්වා දෙමිනි. ඇය රජයෙන් ඉල්ලා සිටියේ, ආශ්‍රිතයින් සොයා ගැනීම සහ ඔවුන් නිරෝධායනය කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙසය.