හැමෝම කතා කරන කොවිඩ් එන්නත...

හැමෝම කතා කරන කොවිඩ් එන්නත...

by Staff writer 10-11-2020 | 6:27 PM

COLOMBO (News 1st) - මෙරට ජනගහනයෙන් 20% කට කොවිඩ් සඳහා වූ එන්නත ලබාදීම පිළිබඳව මේ වනවිට සියලු දෙනාගේම අවධානය යොමු වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ, ඊට ලෝක සෞඛ්‍ය සංවිධානය ද මීට එකඟතාව පල කර ඇති බවයි. කොරෝනා වෛරසයට එරෙහිව අමෙරිකාව හා ජර්මානු සමාගමක් එක්ව නිපදවූ එන්නතක් සාර්ථක අදියරකට පැමිණ ති‌බේ. එම එන්නතේ 3වන අදියරේදී සිදුකළ අත්හදා බැලීමේදී සියයට 90කට වැඩි පිරිසකට සාර්ථක ප්‍රතිඵල ලැබුණු බව එම සමාගම් නිවේදනය කරයි. කොරෝනා වෛරසයට මේ වනවිට ලොව පුරා එන්නත් සිය ගණනක් අත්හදා බැලුවත් අවසන් අදියර සඳහා ළඟා වී ඇත්තේ එන්නත් 6ක පමණ සංඛ්‍යාවකි. ඉන් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ එන්නත පිළිබඳ පහුගිය කාලයේ බොහෝ අවධානය යොමු වූවත් අමෙරිකාවේ ෆයිසර් සමාගම හා ජර්මනියේ බයෝ ඇන්ඩ් ටෙක් සමාගම නිපදවූ එන්නත මේ වනවිට සාර්ථක අදිරයට පැමිණ ඇති බව එම සමාගම ඊයේ(09) දිනයේදී නිවේදනය කළේය. ඔවුන් පෙන්වා දෙන්නේ එය විද්‍යාව හා මානව හිතවාදී බව සම්බන්ධයෙන් ලබන විශිෂ්ට ජයග්‍රහණයක් බවටයි. රටවල් 6 ක පුද්ගලයින් 43,500ක් සම්බන්ධ කර ගනිමින් අත්හදා බලා ඇති මෙම එන්නත එම අදියරේදී සාර්ථක ප්‍රතිඵල පෙන්වා දී තිබේ. එන්නත සායනිකව අත්හදා බැලූ රටවල් වන්නේ අමෙරිකාව, ජර්මනිය, බ්‍රසීලය, ආර්ජන්ටිනාව, දකුණු අප්‍රිකාව හා තුර්කියයි. මෙම එන්නත මගින් සිදුවන්නේ කොවිඩ් වෛරසයේ ජානමය කේතයේ කොටසක් හරහා දුර්වල වෛරසයක් නිපදවීමයි. එය එන්නත් කිරීම මගින් සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩිදියුණු කරයි. සති තුනක අතරමැදි විරාමයක් අවශ්‍ය මාත්‍රා දෙකක් ලෙස මෙම එන්නත ලබාදෙන අතර එහි දෙවැනි මාත්‍රාව ලබා දී දින 7ක් ගතවීමෙන් පසු සියයට 90ක ආරක්ෂාවක් ලබාගත හැකි බව පරීක්ෂන වලින් හෙළි වී තිබේ. ඒ අනුව, මෙම මාසය අවසානයේ එම එන්නත භාවිතයට අනුමැතිය ඉල්ලීමට අදාල සමාගම් තීරණය කර තිබේ. මෙම වසර අවසානයේ මෙම එන්නතේ මාත්‍රා මිලියන 50ක් සැපයීමට අපේක්ෂා කරන අමෙරිකාවේ ෆයිසර් සමාගම අපේක්ෂා කරන්නේ 2021 අවසාන වනවිට මාත්‍රා බිලියන 1.3 ක් සැපයීමටයි.