මෙරට ජනගහනයෙන් 20% කට කොවිඩ් එන්නත

මෙරට ජනගහනයෙන් 20% කට කොවිඩ් එන්නත ලබා දීමට WHO එකඟ වෙයි

by Staff writer 09-11-2020 | 5:14 PM

COLOMBO (News 1st) - මෙරට ජනගහනයෙන් 20% කට කොවිඩ් සඳහා වන එන්නත ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) එකඟතාව පළ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, මෙම එන්නත ලබාදීම සඳහා වන කරුණු සෙවීමට අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කමිටුවක් පත් කර ඇති බවය. ඒ සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කිරීම, එන්නත ලබාදෙන පිරිස් තීරණය කිරීම, ඊට අදාළ භෞතික සම්පත් කළමනාකරණය, තොරතුරු ලබාගැනීම, කරුණු ගොනු කිරීම වැනි කාරණා එම කමිටුව හරහා සිදු වනු ඇති. මෙම තීරණය ගෙන ඇත්තේ කොවිඩ්-19 වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව තුළ ඊට අදාළ එන්නත භාවිත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවකදීය. මේ සඳහා ඖෂධ නිෂ්පාදන, සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී විය.