බයිඩ්න්ගේ පළමු මෙහෙයුම

අමෙරිකා නව ජනපතිගේ පළමු මෙහෙයුම

by Staff writer 09-11-2020 | 3:58 PM

News 1st - අමෙරිකාවේ නව ජනපති ලෙස තේරී පත් ව සිටින ජෝ බයිඩ්න්ගේ පළමු මෙහෙයුම කොරෝනා මර්දනය වෙනුවෙන් දියත් කිරීමට සැලසුම් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ජෝ බයිඩ්න් සහ කමලා හැරිස් සංක්‍රාන්ති සමයේ වැඩපිළිවෙළ ඇතුළත් වෙබ් අඩවියක් ද හඳුන්වා දී ඇති බවය. ඔවුන්ගේ කොරෝනා මර්දන මෙහෙයුමේ පළමු පියවර වන්නේ සියලු අමෙරිකානුවන් මුව ආවරණ පැළඳීමයි. මුව ආවරණ පැළඳීමට අවශ්‍ය නොවන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර නිවේදනය කර තිබුණි. බයිඩ්න්ගේ මෙහෙයුම් කණ්ඩායම පවසන්නේ, පී.සී.ආර් පරීක්ෂණ නොමිලේ සිදු කර අනුගමනය කළ යුතු සෞඛ්‍ය රෙගුලාසි සම්බන්ධයෙන් ජනතාවට නිවැරදි මග පෙන්වීමක් ලබාදෙන බවය. අමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එක් කෝටි දෙලක්ෂ 86,915 ක් සහ මරණ සංඛ්‍යාව 243,753 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කළ මත භේදාත්මක විධායක නියෝග කිහිපයක් අහෝසි කිරීම ද ජෝ බයිඩ්න්ගේ ප්‍රධාන සැලසුමයි. එම නියෝග වන්නේ, * පැරිස් දේශගුණික සම්මුතිය අත්හිටුවීම. * ලෝක සෞඛ්‍ය සංවිධාන සාමාජිකත්වයෙන් ඉවත් වීම. * ඉස්ලාමීය රටවල් 7 ක පුරවැසියන්ට අමෙරිකාවේ සංචාරය තහනම් කිරීම. * අමෙරිකාවට පැමිණ සිටින ලේඛනගත නොවන ළමුන්ට සංක්‍රමණික හිමිකම අහෝසි කිරීම යන නියෝගයි. ජෝ බයිඩ්න්, අදාළ නියෝග අහෝසි කර ඔබාමා යුගගේ ප්‍රතිපත්ති යළි ස්ථාපිත කරනු ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය. ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් අනතුරුව ජාතිය අමතමින් ප්‍රකාශ කළ පරිදි ජෝ බයිඩ්න් අමෙරිකාව සුවපත් කරනු ඇතැයි දේශපාලන විචාරකයින් පෙන්වා දෙයි. ඔහු ලබන වසරේ ජනවාරි මස 20 වැනි දා ජනපති ධුරයේ රාජකාරී ආරම්භ කිරීමට නියමිතය. මේ අතර දකුණු කොරියානු විදේශ අමාත්‍ය කැන්ග් කියුන්ග් වා, අමෙරිකාවේ වොෂින්ටන් නුවරට ළඟා විය. ඒ, දකුණු කොරියානු යුද විරුවන් අනුස්මරණය කිරීමේ උත්සවයකට සහභාගී වීම සඳහායි. ඇය, ඉන් අනතුරුව අමෙරිකානු ජනාධිපතිවරණයෙන් තේරී පත් වූ ජෝ බයිඩ්න් හමුවීමට ද නියමිත වේ. ඊට අමතරව අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සමග ද ඇය සාකච්ඡා පැවැත්වීමට නියමිතය. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොරෝනා ආසාදිතයෙකු බව තහවුරුවීමත් සමග අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ දකුණු කොරියානු සංචාරය අවලංගු කෙරුණි.