සියලු බස් රථ හෙට සිට ධාවනයට..

Lockdown ප්‍රදේශවල නතර කිරීමකින් තොරව සියලු බස් රථ හෙට සිට ධාවනයට: අධිවේගි මාර්ගත් විවෘතයි

by Staff writer 08-11-2020 | 5:23 PM

COLOMBO (News 1st) - නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග පොදු ප්‍රවාහන සේවා හෙට(09) සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වේ.

හුදෙකලා(Lockdown) ප්‍රදේශවල නතර කිරීමකින් තොරව ලංගම සහ පෞද්ගලික සියලු බස් රථ හෙට සිට ධාවනයට කෙරෙනු ඇති. බස් සංගම් නියෝජිතයින් සහ ප්‍රවාහන බලධාරීන් අතර ද අද පෙරවරුවේ සාකච්ඡාවක් පැවැත් විය. ඒ, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙනි. වසා දැමුණු බස්නාහිර පළාතේ අධිවේගි මාර්ග පිවිසුම් ප්‍රවාහන කටයුතු සඳහා හෙට සිට යළි විවෘත කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. මේ අතර හෙට සිට කාර්යාල දුම්රිය 136 ක් ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ. දුම්රිය ගමනාගමන අධිකාරි ඩබ්ලිව්.ඩී.ආර්. පත්මලාල් මහතා සඳහන් කළේ, හුදෙකලා ප්‍රදේශවල නතර කිරීමකින් තොරව එම දුම්රිය ධාවනය කෙරෙන බවයි. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පෞද්ගලික කුලී රථ සේවා ද හෙට සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වේ.