ජනපති,අගමැති,විපක්ෂ නායක බයිඩ්න්ට සුබ පතයි!

ජනපති, අගමැති හා විපක්ෂ නායකගෙන් අමෙරිකාවේ නව ජනපති ජෝ බයිඩ්න්ට සුබ පැතුම්!

by Staff writer 08-11-2020 | 9:59 PM

COLOMBO (News 1st) - ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකාවේ තේරී පත් වූ ජනාධිපති ජෝ බයිඩ්න් මහතාට සුබ ප්‍රාර්ථනා කර තිබේ.

ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයකින් සඳහන් කර ඇත්තේ, නව ජනාධිපතිවරයාටත්, උපජනාධිපති ලෙස තේරී පත් වූ කමලා හැරිස් මහත්මියටත් සුබ පතන බවයි. වඩා ශක්තිමත්, අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ ගෙන දෙන හවුල්කාරීත්වයක් සඳහා එකට වැඩ කිරීමට තමන් සූදානම් බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද තේරී පත් වූ ජනාධිපතිවරයාට සහ උප ජනාධිපතිනියට සුබ පැතුම් එක් කර තිබේ. එහි දැක්වෙන්නේ දෙරට අතර වසර 72 ක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සනිටුවහන්ව ඇති බවත්, ශ්‍රී ලංකාවේ ජනතාවට වාසි සැලසෙන පරිදි අමෙරිකා එක්සත් ජනපද සබඳතා වැඩි දියුණු කිරීම පිණිස කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද අමෙරිකානු ජනාධිපතිවරයාට හා උපජනාධිපතිනි කමලා හැරිස් මහත්මියට ට්විටර් පණිවුඩක් මගින් සිය සුබ පැතුම් එක් කර ඇත. සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර ඇත්තේ, අමෙරිකා එක්සත් ජනපද වැසියන් විසින් මනුෂ්‍යන් වශයෙන් මෙන්ම පුරවැසියන් වශයෙන් ද සිය යහපත් හැඟීම්වල පිළිඹිබුවක්, ඔබ තුළින් දැක ඇති අතර ඔබගේ ජාතියේ සදාචාරාත්මක ශක්තිය පිළිබඳව ඔබ තැබූ විශ්වාසය ද එසේම පිළිගෙන ඇති බවයි.