ජෝ බයිඩ්න් පළමු වරට ජාතිය අමතයි..

ජනතාව බෙදීමට නොව එක්සත් කිරීමට වෙර දරන ජනාධිපතිවරයෙකු වෙනවා - ජෝ බයිඩ්න්

by Staff writer 08-11-2020 | 5:40 PM

COLOMBO (News 1st) - ජනතාව බෙදීමට නොව එක්සත් කිරීමට වෙර දරන ජනාධිපතිවරයෙකු වන බවට ප්‍රතිඥා ලබාදෙන බව, අමෙරිකාවේ නව ජනපති ලෙස තේරී පත්වූ ජෝ බයිඩන් පවසයි.

ඒ, ජයග්‍රහණයෙන් අනතුරුව පළමු වරට ජාතිය අමතමිනි. ඔහු සඳහන් කළේ, සියලු රටවැසියන්ගේ විශ්වාසය දිනාගැනීම සඳහා හදවතින් කැප වන බවයි. තමා මෙම අවස්ථාව ලබාගත්තේ අමෙරිකාවේ ආත්මය සුවපත් කිරීම සඳහා බව ද ජෝ බයිඩ්න් ප්‍රකාශ කළේය. මධ්‍යම පන්තියේ කොඳු නාරටිය ශක්තිමත් කරමින්, අමෙරිකාව ලෝකයේ ගෞරවයට පාත්‍ර කිරීම අරමුණයි. ඒ හේතුවෙන් උදා වී ඇත්තේ අමෙරිකාව සුවපත් කිරීමේ කාලය බව ද ජෝ බයිඩ්න් වැඩිදුරටත් සඳහන් කළේය. ඩෙලවෙයාර්හිදී ඔහු පළමු වරට ජාතිය අමතන අවස්ථාවට බිරිඳ ජිල් බයිඩ්න් මෙන්ම උප ජනපතිනිය වශයෙන් දිවුරුම් දීමට නියමිත කමලා හැරිස් ද එක්ව සිටියේය. එකමුතුකම, විනය සහ විද්‍යාව තුළින් අමෙරිකාවට නව දවසක් උදාවූ බව, කමලා හැරිස් එහිදී ප්‍රකාශ කළාය. ඇය පවසන්නේ ජෝ බයිඩ්න් යනු හදවත් සුවපත් කරන්නෙක් බවයි. අහිමිවීම් තුළින් ජීවිතය ජයගත් ඔහුට ජනතා හැඟීම් හඳුනා ගැනීම පහසු වනු ඇතැයි කමලා හැරිස් වැඩිදුරටත් සඳහන් කළාය. ඉන්දියා - ජැමෙයිකා සම්භවයක් සහිත 55 හැවිරිදි ඇය, අමෙරිකාවේ උප ජනපති ධූරයට පත් පළමු කළු ජාතික කාන්තාව ලෙස ඉතිහාසයට එක්වනු ඇති. මෙවර ජනාධිපතිවරණයෙන් වාර්තාගත ජයග්‍රහණයක් ලැබූ ජෝ බයිඩ්න් ලබන වසරේ ජනවාරී 20 වැනිදා රාජකාරී ආරම්භ කිරීමට නියමිතය. බයිඩන්ගේ ජයග්‍රහණයත් සමග 90 දශකයෙන් පසු එක් වරක් අමෙරිකානු ජනපති ධූරය දැරූ පළමු ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතිහාසගත විය. ජනාධිපතිවරණ ප්‍රතිඵලය දූෂිත යැයි දිගින් දිගටම චෝදනා කරන ඔහු, අධිකරණ හමුවේ නඩු ගොනු කළ ද, ඒවා තහවුරු කළ හැකි කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නැතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.