හෝමාගම රෝහලේ ශල්‍යාගාරයක්, වාට්ටු 2ක් වැසේ

හෝමාගම මූලික රෝහලේ ශල්‍යාගාරයක් හා වාට්ටු 2 ක් වැසේ

by Staff writer 07-11-2020 | 6:27 PM

COLOMBO (News 1st) - කොරෝනා ආසාදිත රෝගියෙක් වාර්තා වීමත් සමග හෝමාගම මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකය ශල්‍යාගාරය මෙන්ම වාට්ටු 2 ක් වසා දමා තිබේ.

අදාළ රෝගියා පැමිණ ඇත්තේ තියුණු ආයුධයකින් පහර දීම සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබා ගැනීමටයි. එහි සිටි වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලය සාමාජිකයින් 10 දෙනෙකු නිරෝධානයනය කර ඇත. තව ද හබරාදුව නිල පියස නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධානය වෙමින් සිටි ඇමති ආරක්ෂක අංශයේ පොලිස් පරීක්ෂකවරයෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි අනාවරණය වී තිබේ. ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරන්නේ, මෙම පොලිස් පරීක්ෂකවරයාට මෙන්ම ඔහුගේ පුතුන් දෙදෙනාට ද කොරෝනා ආසාදනය වී ඇති බවයි. මෙම පොලිස් පරීක්ෂකවරයා කොළඹ 07 පොලිස් නිවාසවල පදිංචිකරුවෙකු බව අප වාර්තාකරු පැවසීය. මේ අතර අද පෙරවරුවේ ගුණසිංහපුර අඩි සීය ප්‍රදේශයේදී ද පී.සී.ආර් පරීක්ෂණ සිදු කෙරිණි. පරණ බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් 7 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇත. බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, අහඹු ලෙස කළ පී.සී.ආර් පරීක්ෂණවලදී එය තහවුරු වූ බවයි. මීට පෙර වැලිකඩ බන්ධනාගාරය ආශ්‍රිත රැඳවියන් 196 දෙනෙකු ද පී.සී.ආර් පරීක්ෂණයට ලක් කළ අතර එහිදී කොරෝනා අසාදිතයින් 23 දෙනෙකු හඳුනා ගැනුණි. ඔවුන් සියලුදෙනා වැලිකන්ද රෝහල වෙත මාරු කර යවා තිබේ.