පාලන මිල නොතැකූ සහල් වෙළෙඳුන් 100 කට නඩු

පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළෙඳුන් 100 කට එරෙහිව නඩු

by Staff writer 06-11-2020 | 5:46 PM

COLOMBO (News 1st) - පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළෙඳුන් 100 කට එරෙහිව නඩු පැවරූ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

අධිකාරිය පැවසුවේ, පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන සහල් මෝල් හා වෙළෙඳුන් අත්අඩංගුවට ගැනීමේ වැටලීම් මේ වනවිට දැඩි කර ඇති බවයි. නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලද වැටලීම් ක්‍රියාත්මක කෙරෙනු ඇති. මීට අමතරව සහල් තොග සඟවා ඇති ස්ථාන සෙවීම ද සිදු කෙරෙන බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ ය. නිෂ්පාදකයින් හා සහල් මෝල් හිමියන් විසින් සහල් වර්ග කිහිපයක් අලෙවි කළ යුතු උපරිම මිල නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් පෙරේදා නිකුත් කළේ ය. ඒ අනුව රතු හා සුදු සම්බා මෙන්ම රතු හා සුදු කැකුළු සම්බා කිලෝග්‍රෑම් එකක් විකිණිය හැකි උපරිම මිල රු. 94 කි. රතු හා සුදු නාඩු කිලෝග්‍රෑම් එකක් රු. 92 ක මිලකටත්, රතු සහ සුදු කැකුළු සහල් කිලෝග්‍රෑමයක් රු. 89 ක මිලකට අලෙවි කළ යුතු බවට එම ගැසට් නිවේදනය මගින් නියම කර තිබේ. මේ අතර සහල් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල පනවමින් මීට පෙර නිකුත් කළ ගැසට් නිවේදනය එලෙසම ක්‍රියාත්මකය. ඒ අනුව නාඩු සහල් කිලෝග්‍රෑමයක් රු. 96 ක මිලකටත් සම්බා සහල් කිලෝග්‍රෑමයක් රු. 98 ත් රතු කැකුළු හා සුදු කැකුළු කිලෝග්‍රෑමයක් රු. 93 මිලකටත් අලෙවි කළ යුතුයි.