News 1st අභිමානවත් 25 වන සංවත්සරය සමරයි

ප්‍රවෘත්ති වාර්තාකරණයේ පුමුඛයා News 1st අභිමානවත් 25 වන සංවත්සරය සමරයි

by Staff writer 06-11-2020 | 2:26 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ විද්‍යුත් මාධ්‍ය ප්‍රවෘත්ති වාර්තාකරණයට නව මානයක් එක් කළ News 1st අද සිය ජනතා මෙහෙවරේ 25 වැනි වසර සපුරයි.

කැපිටල් මහරාජා සංවිධානයට අයත් MTV/MBC මාධ්‍ය ජාලය පළමු වරට ප්‍රවෘත්ති විකාශයකට මුල පිරුවේ 1995 වසරේ මාර්තු 02 වැනි දායි. ඒ, සිරස FM හා Yes FM ගුවන් විදුලි නාලිකා ඔස්සේ ය. 1995 නොවැම්බර් 06 වැනි දා MTV නාලිකාව ඔස්සේ පළමු රූපවාහිනි ප්‍රවෘත්ති ප්‍රකාශය විකාශය කෙරුණි. එය තවත් ඉදිරියට ගියේ News 1st, සිරස TV/ TV 1 / ශක්ති TV යන රූපවාහිනි නාලිකා සහ සිරස FM / ශක්ති FM / Yes FM / Y FM / Legend FM යන ගුවන් විදුලි නාලිකාවලිනි. www.newsfirst.lk වෙබ් අඩවිය ඔස්සේ මෙන්ම නිව්ස්ෆස්ට් නිල ෆේස් බුක් පිටුව ඔස්සේ දිනකට ප්‍රවෘත්ති විකාශ සිය ගණනක් ජනතාව හමුවේ තබන්නේ සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂාත්‍රයෙනි. 25 වසරක් පුරා නිව්ස්ෆස්ට් සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට යොමු කළේ හැමවිටම රට පෙරට තබමිනි. ස්වභාවික ආපදා හා ජාතික ව්‍යසනවලදි සහන යාත්‍රා වැනි දැවැන්ත මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් අප පෙරට ආ විට සහයෝගයේ දෑත් දිගු කළේ මේ රටේ ජනතාවයි. ඒ, ඔබේ ජීවිතය - අපේ ප්‍රවෘත්ති වන බැවිනි. ගම්මැද්ද ජාතික සංවර්ධන ක්‍රියාන්විතය මෙරට දුක් විඳින ජනතාවගේ එකම විශ්වාසය, බලාපොරොත්තුව බවට පත් ව ඇත. 21 වැනි සියවසේ අතිශය ජනතවාදි ප්‍රවෘත්ති වාර්තාකරණයේ පුර්වාදර්ශය වූ නිව්ස් ෆස්ට් තවදුරටත් සිය මාධ්‍ය මෙහෙවරෙහි නව මානයන් සොයමින් පෙරට යාමට සූදානම්.