අවසන් ප්‍රතිඵලය තවදුරටත් ප්‍රමාදවන ලකුණු...

අමෙරිකානු ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය තවදුරටත් ප්‍රමාදවන ලකුණු

by Staff writer 06-11-2020 | 3:00 PM

News 1st - ප්‍රතිවාදීන් අමෙරිකානු ජනාධිපතිවරණ ප්‍රතිඵලය සොරකම් කර ඇති බවට රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරයි.

ධවල මන්දිරයේදී මාධ්‍ය අමතමින් ඔහු සඳහන් කළේ, තමා නිසැකවම ජනාධිපතිවරණය ජයග්‍රහණය කර ඇති බවයි. නීතිමය වශයෙන් තැපැල් ඡන්ද ගණන් කිරීම සිදු කළහොත් තමා ජනාධිපතිවරණය අනිවාර්යෙන් ජයගන්නා බව ඔහු ප්‍රකාශ කළේ තීරණාත්මක ප්‍රාන්ත 4 ක ප්‍රතිඵල නිකුත්වීමට නියමිතව තිබියදීයි. ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනුව ඡන්ද විද්‍යාල 264 ක බලය තහවුරු කර ගනිමින් ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් පෙරමුණේ පසුවෙයි. ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිමිව ඇත්තේ ඡන්ද විද්‍යාල 214 ක බලය පමණි. ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට නම් ඡන්ද විද්‍යාල 270 ක් ජයග්‍රහණය කළ යුතු වේ. අවසානයේ සිදුවිය හැක්කේ, අමෙරිකාව විනිසුරුවරුන්ට පාලනය කිරීමට සිදුවීම බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඇරිසෝනා, ජෝර්ජියා, නෙවාඩා සහ පෙන්සිල්වේනියා ප්‍රාන්තවල ඡන්ද ගණන් කිරීම අත්හිටුවීමට පූර්ණ උත්සහයක් දරන පසුබිමකදීය. ජනාධිපතිවරණයට මාධ්‍ය අනවශ්‍ය ලෙස මැදිහත් වූ බවට ද ඔහු චෝදනා කරයි. ඡන්ද ගණන් කර අවසන් වනතුරු ජනතාව සන්සුන්ව සිටිය යුතු බව, ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් පැවසුවේ ය. ඔහු සඳහන් කළේ, තම ජයග්‍රහණය පිළිබඳ සැකයක් නොමැති බවයි. ජෝ බයිඩන්, අමෙරිකාවේ 46 වැනි ජනාධිපතිවරයා බවට පත්වුවහොත්, රොනල්ඩ් රේගන්ගෙන් පසුව එරට බිහි වූ වයස්ගතම නායකයා බවට ඔහු පත්වනු ඇති. ලබන 20 වැනි දාට, ජෝ බයිඩන් 78 වැනි වියට පා තැබීමට නියමිතය. 1989 වසරේදී රොනල්ඩ් රේගන්, ජනපති ධුරයට සමුදෙන විට 77 වැනි වියෙහි පසුවිය. ධවල මන්දිරය මැතිවරණ ප්‍රචාරණ ස්ථානයක් ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන්, අමෙරිකානු විශේෂ නීති උපදේශන කාර්යාලය විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඒ, ෆෙඩරල් සේවකයින්ගේ දේශපාලන කටයුතු සීමා කිරීමේ පනත උල්ලංඝණය කිරීමේ චෝදනා යටතේය. ඩොනල්ඩ් ට්‍රම්ප්, ධවල මන්දිරයේදී ආධාරකරුවන් 200 ක් ඇමතීම මෙන්ම විධායක කාර්යාල ගොඩනැගිල්ල ආසන්න භූමිය විරෝධතාකරුවන් සඳහා ලබාදීම, අදාළ පරීක්ෂණය ආරම්භ වීමට මූලික හේතුවී තිබේ. ඊට අමතරව සිය කාර්යාලයේදී ඔහු මැතිවරණ නිලධාරීන්ට විවිධ දැනුම්දීම් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිතවාදීව පත්වාගෙන ගිය සමූහ ගිණුමක් අක්‍රීය කළ බව ෆේස්බුක් සමාගම පවසයි. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ජනාධිපතිවරණ ප්‍රතිඵල දූෂිත යැයි පවසමින් ඒ හරහා සෑම තත්පර 10 කට වරක් නව සටහන් එක් කරන බවය. ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කළ පසු පිහිටුවා ඇති එම ෆේස්බුක් ගිණුමට නව සාමාජිකයින් දහස් ගණනක් ඒකරාශී වී තිබේ. ඒ අනුව ගිණුම පිහිටුවා දිනක් තුළ 365,000 ක් ඒ සමග එක්ව ඇතැයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ ය.