සහල් සඳහා උපරිම මිල ගණන්

සහල් සඳහා උපරිම මිල ගණන් නියම කරමින් ගැසට් නිවේදනයක්

by Staff writer 04-11-2020 | 9:39 PM
COLOMBO (News 1st) : නිෂ්පාදකයින් හා සහල් මෝල් හිමියන් විසින් සහල් වර්ග කිහිපයක් අලෙවි කළයුතු උපරිම මිල නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව රතු හා සුදු සම්බා මෙන්ම රතු හා සුදු කැකුළු සම්බා කිලෝග්‍රෑම් එකක් විකිනිය හැකි උපරිම සිල්ලර මිල රුපියල් 94 කි. රතු හා සුදු නාඩු කිලෝග්‍රෑම් එකක් රුපියල් 92 ක මිලකටත්, රතු සහ සුදු කැකුළු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 89 ක මිලකට අලෙවි කළයුතු බවට එම ගැසට් නිවේදනය මගින් නියම කර තිබේ. මෙම නියෝග අද සිට ක්‍රියාත්මක වන බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ ය. උපරිම මිල ඉක්මවා වෙළදාම් කිරීම , වෙළදාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම හෝ වෙළඳාම් කිරීම සඳහා ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බව පාරිභෝගික කටයුතු අධිකාරිය එම ගැසට් නිවේදනයෙන් නියෝග කර තිබේ.