ඇඳිරි නීතිය:කඩ විවෘත කිරීම මේ මොහොතේ ප්‍රායෝගික නෑ

නිරෝධායන ඇඳිරි නීතිය ඇති ප්‍රදේශවල වෙළඳසැල් විවෘත කිරීමේ ක්‍රමය මේ මොහොතේ ප්‍රායෝගික නැහැ - රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

by Chathuranga Rajapaksha 02-11-2020 | 2:00 PM
COLOMBO (News 1st): නිරෝධායන ඇඳිරි නීතිය ඇති ප්‍රදේශවල සිල්ලර වෙළඳසැල් සහ ෆාමසි නැවත විවෘත කිරීම සඳහා දෙදින ක්‍රමය ක්‍රියාත්මක කිරීම මේ මොහොතේ ප්‍රායෝගික නොවන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා පවසයි. News 1st වෙත අදහස් දක්වමින් නාලක කලුවැව මහතා කියා සිටියේ ඔක්තෝබර් 27 දිනැති චක්‍රලේඛය නිකුත් කරනු ලැබුවේ සමස්ත බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට පෙර බවයි. කෙසේ වෙතත්, ජනතාව මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා සතිය මැදදී තීරණයක් ගැනීමේ හැකියාවක් පවතින බව ද ඔහු ඉඟි පළ කළේය. ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ මීට පෙර සිදු කළ ආකාරයටම අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හරින බව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා ඊයේ(01) සඳහන් කළේය. කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයින් සමග ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(01) පැවති සාකච්ඡාවක දී බැසිල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය. දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට, ග්‍රාම නිලධාරීන්ට සහ පළාත් පාලන නියෝජිතයන්ට වගකීම් පවරමින් වැඩසටහන ක්‍රියාත්මක කරන අතර, මාසික වැඩිහිටි දීමනාව පෙර පරිදිම නිවසටම ගොස් භාර දෙන බව ද බැසිල් රාජපක්ෂ මහතා එහිදී පැවසීය. නිවෙස්වල නිරෝධායනය වන්නන්ට රුපියල් 10,000ක බඩු මල්ලක් දීමට ද මෙහිදී පියවර ගෙන තිබේ. COVID-19 වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පසුගිය ඔක්තෝබර් 27 වන දින පැවසු ආකාරයට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල සිල්ලර වෙළඳසැල් සහ ෆාමසි නැවත විවෘත කිරීම සඳහා වූ කාලසටහන සඳහන් වූයේ මේ ආකාරයටයි.. ? කොළඹ සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ / අඟහරුවාදා සහ සිකුරාදා (උදෑසන 8.00 සිට රාත්‍රී 10.00 දක්වා) ? ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කයේ / සඳුදා සභ බ්‍රහස්පතින්දා (උදෑසන 8.00 සිට රාත්‍රී 10.00 දක්වා) මේ අතර යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ සවස විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ, බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳිරි නීතිය ලබන 09වැනිදා අලුයම 5.00 දක්වා දීර්ඝ කරන බව ය. මීට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ පොලිස් වසමට, කුරුණෑගල නගර සභා සීමාවට සහ කුලියාපිටිය පොලිස් වසමට ද ලබන 09 වැනිදා අලුයම 5.00 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.