ජනපති කොමිසමේ පැමිණිලි විභාග අවසන්

ජනපති කොමිසමේ පැමිණිලි විභාග අවසන් : අවසන් වාර්තාව නොවැම්බර් 09 හෝ ඊට පෙර ජනපතිට

by Chathurika Jayasundara 31-10-2020 | 10:50 AM

COLOMBO ( News 1st ) : දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ පැමිණිලි විභාගය අවසන් කර තිබේ.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, නිර්දේශ ඇතුළත් අවසන් වාර්තාව නොවැම්බර් මස 09 වැනිදා හෝ ඊට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දීමට නියමිත බවයි. 2015 ජනවාරි 8 සිට 2019 නොවැම්බර් 16 දක්වා කාලය තුළ රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවයේ නියතු පුද්ගලයින්ට සිදුවී ඇතැයි කියන දේශපාලන පළිගැනීම් පිළිබඳව පරීක්ෂා කර තොරතුරු ලබා ගැනීම සඳහා මෙම කොමිෂන් සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ ගැසට් නිවේදනයකින් පත් කරනු ලැබිණි. ඒ අනුව, කොමිසමට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 1842 කි. ඉන් පැමිණිලි 112 ක් විභාග කර අවසන් බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය. පැමිණිලි 872 ක් දේශපාලන පළිගැනීම් පරීක්ෂා කිරීමේ අමාත්‍ය කමිටුව වෙත යොමු කර තිබේ. 2020 ජනවාරි 16 වැනිදා ආරම්භ කළ මෙම කොමිසමේ සභාපතිවරයා ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා කටයුතු කළේ ය. විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක සහ හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මෙහි සෙසු සාමාජිකයින් ය. දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය ලබන 09 වැනිදා අවසන් වීමට නියමිතය.