ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සිව් දෙනෙකුට කොරෝනා

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂවරයෙක් ඇතුළු සිව් දෙනෙකුට කොරෝනා

by Staff writer 31-10-2020 | 6:55 PM

COLOMBO (News 1st) - ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සිව් දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව මේ වනවිට තහවුරු වී තිබේ.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කලුවැව මහතා පැවසුවේ, සහකාර අධ්‍යක්ෂවරයෙක්, සංවර්ධන නිලධාරිවරයෙකු සහ කාර්යාල කාර්යය සහායකයින් දෙදෙනෙකු ඒ අතර වන බවයි. මේ වනවිට 40 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවත් සෞඛ්‍යා ආරක්ෂිතව ආයතනික කටයුතු පවත්වාගෙන යාමට පියවර ගෙන ඇති බවත් ඔහු සඳහන් කළේය. හොරණ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවිකාවකට කෝවිඩ් ආසාදිත බවට තහවුරු වීමත් සමග එම කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට අද කටයුතු කළේය. ආසාදිත කාන්තාව හඳුනාගෙන ඇත්තේ අහඹු ලෙස කළ පී සී ආර් පරික්ෂාවලදීය. මේ අතර කෝවිඩ් ආසාදිතයින් හමුවීමත් සමග මේ වනවිට සංචරණ සීමා පනවා ඇති කුරුණෑගල, මල්ලවපිටිය ප්‍රදේශයේ හා හුදෙකලා කර ඇති විල්ගොඩ ප්‍රදේශයේ කෝවිඩ් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 200 දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ අද සිදු කළේය. ඒ, ඇතුගල්පුර කුමන විද්‍යාලයේදී. ගතවූ දෙදින තුළ අදාළ ප්‍රදේශවලින් හමුවූ ආසාදිතයින් සංඛ්‍යාව 16කි. පවතින තත්ත්වය හමුවේ හලාවත මාළු වෙළෙඳපොළ ආසන්නයේ වුවද මාළු වෙළඳාම් නොකරන්නැයි, අද නිවේදනය කළේය. හලාවත මාළු වෙළෙඳපොළ පසුගියදා වසා දැමුණු අතර පසුව මාළු වෙ‌ළෙඳුන් ඒ ආසන්නයේ සිය වෙළඳාම් කටයුතු නැවත සිදු කිරීමත් සමග එම පියවර ගෙන තිබේ. මේ අතර හුදකලා කර තිබුණු හැටන් නගරය, සීමා කිරීම්වලට යටත්ව අද මහජනතාව වෙනුවෙන් විවෘත කෙරිණි.. නගරයේ වෙළෙඳසැල් කිහිපයක් ද විවෘතව පැවති අතර හැටන් ප්‍රදේශයේ මුල් ආසාදිතයා සොයා ගත් හැටන් මහජන වෙළෙඳපොළ පරිශ්‍රයේ වෙළෙසැල් විවෘත කිරීමට තවමත් අවසර ලැබී නොමැත. කෙසේ නමුත් අද පෙරවරුවේ එහි විවෘත කර තිබුණු වෙළෙඳසැල් කිහිපයක් වසා දැමීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළේය. මේ අතර පවතින තත්ත්වය හමුවේ ක්ෂේත්‍ර රාජකාරියේ නිරත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දැඩි අවධානමකට මුහුණ දෙමින් සිටින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. මේ අතර කෑගල්ල, බුලත්කොහුපිටිය ප්‍රදේශයෙන් කෝවිඩ් ආසාදිතයින් 11 දෙනෙකු හමුවීමත් සමග අද බුලත්කොහුපිටිය, පහළ නෙල්ස් නියර්, ලවල, අඹමල්ල සහ පන්නල යන ගම්මානවල ආශ්‍රිතයින්ගේ නිවාස 70 ක පිරිස් ස්වයං නිරෝධායනයට ලක් කෙරිණි.