ගර්භණී කතුන්ට රෝහලට යන්න ඇඳිරි නීතිය බාධාවක් නැහැ

ගර්භණී කාන්තාවන්ට ප්‍රතිකාර සඳහා රෝහල්ගතවීමට නිරෝධායන ඇඳිරි නීතිය බාධාවක් නැහැ - සෞඛ්‍ය අමාත්‍යාංශය

by Staff writer 31-10-2020 | 4:12 PM

COLOMBO (News 1st) - රෝගී තත්ත්වයෙන් පසුවන ගර්භණී හා පසු ප්‍රසව මව්වරුන්ට ප්‍රතිකාර සඳහා රෝහල්ගතවීමට නිරෝධායන ඇඳිරි නීතිය බාධාවක් නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යංශය පවසයි.

එම කාර්යංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, ගර්භණී සටහන්පත ඇඳිරි නීති බලපත්‍රය ලෙස භාවිත කළ හැකි බවයි. රෝගී තත්ත්වයෙන් පසු වූ ගර්භණී කාන්තාවන් රෝහල්ගත නොවීම හමුවේ අවාසනාවන්ත සිද්ධීන් වාර්තා වීම හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම පියවර ගෙන ඇත. රෝගී තත්ත්වයෙන් පසුවන ගර්භණී හා පසු ප්‍රසව මව්වරුන්ට අවශ්‍ය ප්‍රතිකාර පැය 24 පුරා ලබා දීමට සියලු රජයේ රෝහල්වලට උපදෙස් දී ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.