බස්නාහිරින් පිට වූ 454 ක් ස්වයං නිරෝධායනයට

ඉකුත් 29 හා 30 යන දෙදින බස්නාහිරින් පිට වූ 454 ක් ස්වයං නිරෝධායනයට

by Staff writer 31-10-2020 | 6:30 PM

COLOMBO (News 1st) - ඉකුත් 29 හා 30 යන දෙදින නිරෝධායන රීතින්වලට පටහැනිව බස්නාහිර පළාතෙන් පිටතට ගොස් ඇති පුද්ගලයින් 454 දෙනෙකු දැනට නාවාතැන්ගෙන සිටින ස්ථානවලදීම ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ, අද පැවති මාධ්‍ය හමුවේදීය. මේ අතර පොලිස් නිලධාරීන් 78 දෙනෙකුට මේ වනවිට කොරෝනා ආසාදනය වී ඇති බවට ද මාධ්‍ය හමුවේදී අනාවරණ විය. ගම්පහ, කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කවල පවුල් 25,000 ක පුද්ගලයින් 67,000 ට ආසන්න පිරිසක් නිවෙස් නිරෝධායනයට යොමු කර තිබේ. ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති නිරෝධායන රෙගුලාසි යටතට ගැණෙන මුහුණු ආවරණ නොපැළදී සහ සමාජ දුරස්ථභාවය කඩ කළ පුද්ගලයින් 50 දෙනෙකු ඊයේ සිට මේ දක්වා කාලය තුළ අත්අඩංගුවට පත් ව ඇත.