නව ගුවන් හමුදාපති එයාර් වයිස් මාෂල් සුදර්ශන පතිරණ

නව ගුවන් හමුදාපති එයාර් වයිස් මාෂල් සුදර්ශන පතිරණ

by Staff writer 30-10-2020 | 10:11 AM

COLOMBO (News 1st) : නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා පත්කර තිබේ.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි. ලබන 02 වැනි දා සිට සුදර්ශන පතිරණ මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 18 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස වැඩ අරඹනු ඇති. එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා මහනුවර ධර්මරාජ විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙක් ය. ඔහු 1987 ජනවාරි මස 02 වන දින නියමු පොදු රාජකාරි ශාඛාවේ පයිලට් ඔෆිසර් නිලයේ අධිකාරීත්වයට පත් විය. චීන වරාය විද්‍යාපීඨයේ ස්ථාපිත අංක 03 බලඝනයේ නිරීක්ෂණ නියමුවකු වශයෙන් මෙහෙයුම් රාජකාරීන් ආරම්භ කළ ඒ මහතා 1990 වසරේ චීන උපදේශකයින් යටතේ අංක 5 ජෙට් ප්‍රහාරක ගුවන් යානා බලඝනයේ F7 ගුවන් යානා පුහුණුව ලැබූ පළමු ශ්‍රී ලාංකික ගුවන් නියමුවන් 6දෙනා අතරින් අයෙකි. කෆීර් සහ F7 ප්‍රහාරක ගුවන් යානා බලඝනයන්හි අණදෙන නිලධාරිවරයා වශයෙන් ද මිග් 27 ප්‍රහාරක ගුවන් යානා බලඝනයේ වැඩබලන අණදෙන නිලධාරිවරයා වශයෙන් ද ඒ මහතා මීට පෙර කටයුතු කළේ ය. මේ අතර වත්මන් ගුවන් හමුදාපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා ලබන 02 වැනි දා සිය ධුරයෙන් විශ්‍රාම යාමට නියමිතව ඇතැයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව ප්‍රකාශ කළේ ය.