ප්‍රංශය දෙවන වරටත් Lockdown...

කොරෝනා ව්‍යාප්තිය හමුවේ ප්‍රංශය දෙවන වරටත් Lockdown...

by Staff writer 29-10-2020 | 7:41 AM
COLOMBO (News 1st) : දෙවන කොරෝනා රැල්ලක ව්‍යාප්තිය හමුවේ ප්‍රංශය සහ ජර්මනිය යළිත් වරක් වසා දැමිණ. ඒ ශීත කාලය ඇරඹීමට පෙර දැවැන්ත කොරෝනා රැල්ලක් යුරෝපය වෙලාගනු ඇතැයි, මත පළ වන පසුබිමකදීයි. ඉතාම සෘණාත්මක පුරෝකථන අපේක්ෂා කළාටත් වඩා වැඩි වේගයකින් වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින බව රූපවාහිනිය ඔස්සේ ජනතාව ඇමතූ ප්‍රංශ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය. ඔහු සඳහන් කළේ, සෙසු සියලු අසල්වැසි රටවල් මෙන්ම ප්‍රංශය ද වෛරසයේ හදිසි ව්‍යාප්තියෙන් බලපෑමට ලක්ව ඇති බවයි. මෙම කොරෝනා දෙවන රැල්ල ප්‍රථම රැල්ලට ද වඩා මාරාන්තික වනු ඇතැයි ප්‍රංශ ජනාධිපතිවරයා අවධාරණය කළේ ය. හෙටින් ඇරඹෙන ප්‍රංශයේ නව කොරෝනා රෙගුලාසි ලබන මාසය අවසන් වන තෙක් ක්‍රියාත්මක වීමට නියමිතයි . ඒ යටතේ එරට පුද්ගලයන්ට නිවෙස්වලින් බැහැර විය හැක්කේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම , ව්‍යායාමවල නිරතවීම හෝ වෛද්‍ය උපදෙස් පැතීම සඳහා පමණි. පාසල් තවදුරටත් විවෘතව තැබෙන අතර සිය සේවා යෝජකයා සේවයට පැමිණීම අනිවාර්ය කළ හොත් පමණක් සේවකයන්ට රැකියාව සඳහා නිවසින් බැහැර විය හැකියි. ජර්මනිය ද ලබන මස 2 සිට 30 වනදා දක්වා එරට තැබෑරුම් , අවන්හල් සහ සිනමාහල් වසා තැබීමට තීරණය කර තිබේ. ජර්මනියේ ද පාසල් තවදුරටත් විවෘතව තැබෙන අතර සීමිත ගැණුම්කරුවන් පිරිසකට එරට කඩ සාප්පු විවෘත කෙරෙනු ඇති . සිය රටේ සෞඛ්‍ය ක්‍රමවේදයට තවමත් මෙම වසංගතයට මුහුණදිය හැකිවුවත් , සති කිහිපයක් තුළ ඊට දරාගත නොහැකි මට්ටමක් දක්වා තත්ත්වය දරුණු වනු ඇතැයි ජර්මානු චාන්සලර් ඇන්ගෙලා මර්කල් සඳහන් කළේ ය. ජර්මානු සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, සිය දැඩි සත්කාර ඒකක පිරෙන තෙක් සිටිය හොත් ප්‍රමාද වැඩි වනු ඇති බවයි. රුසියාවේ පළාත් 16 ක රෝහල් වල ධාරිතාවයෙන් 90% ක ප්‍රතිශතයක් මේ වනවිට පිරී ගොස් ඇති අතර ඉතා හොඳ සෞඛ්‍ය පද්ධති සහිත ප්‍රංශය සහ ස්විට්සර්ලන්තයේද රෝහල් දින කිහිපයක් තුළ උපරිම ධාරිතාවය ඉක්මවනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.