විදෙස් සබඳතාවලදී රටේ ස්වාධීනත්වයට මුල් තැන - ජනපති

ශ්‍රී ලංකාවේ සංවර්ධනයට නොපැකිළිව උදව් කිරීමට සූදානම් බව අමෙරිකානු රාජ්‍ය ලේකම් කියයි

by Staff writer 28-10-2020 | 5:25 PM
COLOMBO (News 1st) : අන්තර් ජාතික සබඳතාවලදී රටේ ස්වෛරීභාවය, ස්වාධීනත්වය හා භෞමික අඛණ්ඩතාව කැප කිරීමට තමන් කිසිවිටෙක සූදානම් නැතැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා හමුවේ අද අවධාරණය කළේ ය. ජනාධිපතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය මධ්‍යස්ථභාවය මත පදනම්ව ඇති බවයි. අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයට පැමිණි අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පිළිගත්තේ, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතායි. අනතුරුව ජනාධිපතිවරයා හමුවූ රාජ්‍ය ලේකම්වරයා ද්වීපාර්ශ්වීය සාකච්ඡාවක නිරතවූහ. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ , ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ශ්‍රී ලංකාව සමග අඛණ්ඩ සහයෝගයෙන් ක්‍රියාකිරීමට සූදානම් බව රාජ්‍ය ලේකම්වරයා මෙහිදී ප්‍රකාශ කළ බවයි. ඉන්දීය සාගර කලාපය සාම කලාපයක් ලෙස පවතිනු දැකීම ඇමරිකාවේ අපේක්ෂාව බව පෙන්වාදී ඇති රාජ්‍ය ලේකම්වරයා ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ගොඩනැගී ඇති මිත්‍රශීලී සබඳතා පිළිබඳව සතුට පළ කර තිබේ. ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර ඇත්තේ ඉන්දීය සාගරයේ සාමය පවතිනු දැකීම ශ්‍රී ලංකාවේ ද අභිලාසය බවයි. ශ්‍රී ලංකාව සෙසු රාජ්‍යයන් සමග පවත්වා ගන්නා සබඳතා සාධක කිහිපයක් අනුව තීරණය වන බව සඳහන් කර ඇති ජනාධිපතිවරයා ඓතිහාසික හා සංස්කෘතික සබඳතා සහ සංවර්ධන සහයෝගීතාව ඒ අතර ප්‍රමුඛස්ථානය ගන්නා බව පෙන්වාදී තිබේ. ජනාධිපතිවරයා පෙන්වාදී ඇත්තේ බෙදුම්වාදී යුද්ධය අවසන් කිරීමෙන් පසු රටේ යටිතල පහසුකම් සංවර්ධනයට චීනය උදව් කළ බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව ණය උගුලක සිර වූයේ නැතැයි ද ජනාධිපතිවරයා අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා හමුවේ අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. දෙරට අතර දිගුකාලීන ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමක් කිරීමට මෙම හමුවේදී දෙපාර්ශ්වය එකඟවී ඇති අතර මෙරට හමුදා සාමාජිකයින්ට අමෙරිකාවෙන් ලැබෙන පුහුණුව හා ද්‍රව්‍යමය ආධාර ද ඊට අයත් ය. මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය සදහා වෙරළාරක්ෂක සේවා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර ඇති අතර ඊට සහයවීමට හැකි බව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සඳහන් කර තිබේ. මේ අතර මයික් පොම්පියෝ මහතා ජනාධිපතිවරයා සමග පැවති හමුවේදී ප්‍රකාශකර ඇත්තේ ශ්‍රී ලංකාවේ අමෙරිකානු ආයෝජන ප්‍රවර්ධනයට ඉහළ ප්‍රමුඛතාවක් ලබාදෙන බවයි. ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවය නොකඩවා ණය ගැනීම නොව විදේශ ආයෝජන ආකර්ශණය කර ගැනීමෙන් ඉහළ ආර්ථික වර්ධනයක් අත්කර ගැනීම බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය නවීකරණය සදහා විද්‍යාත්මක පර්යේෂණවලට සහය වන්නැයි ජනාධිපතිවරයා මේ හමුවේදී ඉල්ලීමක් කළ බවයි. රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා සමග කළමනාකරණය පිළිබඳ සහය රාජ්‍ය ලේකම් බ්‍රයන් බුලතාවෝ, දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ප්‍රධාන නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් ඩීන් තොම්සන් සහ තානාපති අලෙයිනා බී. ටිප්ලිට්ස් මහත්මිය ද ඇමරිකානු දූත පිරිසට ඇතුළත් වූහ.