රුපියල් 5000 ගැන ආණ්ඩුව ගත් අලුත්ම තීරණය..

නිරෝධායන ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල ජනතාවට කඩිනමින් සහන සලසන බවට රජයෙන් සහතිකයක්...

by Staff writer 28-10-2020 | 8:18 AM

COLOMBO (News 1st) - කොරෝනා වසංගත තත්ත්වය හමුවේ හුදෙකලා කර ඇති සහ නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ජනතාවට කඩිනමින් පහසුකම් සලසන බව රජය පවසයි.

මේ අතර උද්ගතව ඇති කොරෝනා තත්ත්වය හමුවේ අත්‍යවශ්‍ය සේවා කාර්යක්ෂමව, විධිමත්වව හා අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය පියවර ගෙන තිබේ. ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යය සාධක බලකාය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, නිවෙස් තුළ නිරෝධායනයට යොමු කර ඇති පවුල් සඳහා සති දෙකකට ප්‍රමාණවත් ආහාර ලබාදීමේ විශේෂ ක්‍රමවේදයක් ක්‍රියාත්මක බවය. ඊට අමතරව සතියක් පුරා සම්පුර්ණයෙන් ම වසා දමා ඇති ප්‍රදේශ සඳහා රුපියල් 5000 ක මුදල ලබාදීමට තීරණය කළ බව අදාළ නිවේදනයේ සඳහන් වේ. බැරෑරුම් තත්ත්වයකදී වුවද විදුලිය, ජලය, ඉන්ධන, ගෑස්, ප්‍රවාහනය, සෞඛ්‍ය, මහාමාර්ග ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කිරීමට ද එහිදී සාකච්ඡා වී තිබේ. ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ තැපැල්පතිවරයාට එහිදී උපදෙස් දී ඇත්තේ, මහජන ආධාර සහ විශ්‍රාම වැටුප් අදාළ පුද්ගලයින්ගේ නිවෙස් වෙත ගොස් ලබා දෙන ලෙසයි. බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී මෙම කරුණු පිළිබඳ අවධානය යොමු වී ඇතැයි එම නිවේදනයේ සඳහන් විය.