UPDATE : අමෙරිකානු රාජ්‍ය ලේකම්  ජනපති හමුවෙයි

UPDATE : අමෙරිකානු රාජ්‍ය ලේකම් ජනපති හමුවෙයි

by Staff writer 28-10-2020 | 6:23 AM
COLOMBO (News 1st) 10.00 AM : මෙරට නිල සංචාරයක නිරත අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව පැවැත්විණ. වසංගත තත්ත්වයෙන් පසු ආර්ථිකය යථා තත්ත්වයට ගෙන ඒමේදී වැදගත් අංග වන විනිවිදභාවයෙන් යුත් වෙළඳ සහ ආයෝජන කටයුතු පිළිබඳව මෙම හමුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කරන බව මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කර තිබේ. තානාපති කාර්යාල ට්විටර් ගිණුමේ වැඩිදුරටත් සඳහන් වන්නේ, මෙම හමුවේදී ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සඳහා පොදු කැපවීම පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිත බවයි. අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමෙන් අනතුරුව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග ද නිල වශයෙන් සාකච්ඡා පවත්වනු ලැබී ය. අනතුතුරුව ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හා අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා අදහස් පළ කළහ. නිල සාකච්ඡාවලින් අනතුරුව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට පැමිණීමට නියමිතව තිබේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ධූර කාලය තුළදී ශ්‍රී ලංකාවට පැමිණි , එරට ප්‍රධානතම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා වන්නේ මයික් පොම්පියෝ මහතායි. හිටපු අමෙරිකානු හමුදා නිලධාරියෙකු වන ඔහු අමෙරිකානු CIA බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයෙකි. ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුව, අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇතුළු දූත පිරිස අද මාලදිවයින බලා පිටත්ව යන අතර අනතුරුව පිරිස ඉන්දුනීසියාවේ සංචාරයක ද නිරත වේ. ඊයේ රාත්‍රී 7.35ට පමණ පොම්පේයෝ මහතා විශේෂ ගුවන් යානයකින් ඉන්දියාවේ සිට මෙරටට පැමිණියේ ය. https://www.youtube.com/watch?v=Lt5VZYcyHmk&feature=youtu.be   .............................................................................................................................................................................................

(6.23AM) : අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ අද ජනපති හමුවෙයි

COLOMBO (News 1st) - ඊයේ රත්‍රියේ (27) දිවයිනට පැමිණි අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ මහතා අද උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතය.

ඒ, ජනාධිපති කාර්යාලයේදීයි. අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ මහතා ඊයේ පස්වරු 7.35ට පමණ දිවයිනට පැමිණියේ අමෙරිකාවට අයත් විශේෂ ගුවන් යානයකිනි. විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා විසින් දූත පිරිස පිළිගනු ලැබිය. මයික් පොම්පේයෝ මහතා අද උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමෙන් අනතුරුව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග නිලවශයෙන් සාකච්ඡා පැවත්වීමට නියමිතවේ. දෙරටට වැදගත් ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව මෙම සාකච්ඡාවලදී අවධානය යොමු කෙරෙනු ඇති. නිල සාකච්ඡාවලින් අනතුරුව අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට පැමිණීමට නියමිතව තිබේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ධූර කාලය තුළදී ශ්‍රී ලංකාවට පැමිණෙන එරට ප්‍රධානතම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා වන්නේ මයික් පොම්පේයෝ මහතාය. හිටපු අමෙරිකානු හමුදා නිලධාරියෙකු වන ඔහු අමෙරිකානු සී.අයි.ඒ බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයෙකි. මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේ, ශක්තිමත්, ස්වෛරී ශ්‍රී ලංකාවක් සමගින් හවුල්කාරීත්වයක් සඳහා අමෙරිකාවේ කැපවීම අවධාරණය කිරීමටත්, නිදහස් හා විවෘත ඉන්දු - ශාන්තිකර කලාපයක් සඳහා පොදු අරමුණු ඉදිරියට ගෙනයාමටත් රාජ්‍ය ලේකම්වරයාගේ සංචාරයේදී අවධානය යොමුවන බවයි. ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුව අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇතුළු දූත පිරිස හෙට මාලදිවයින බලා පිටත්ව යන අතර අනතුරුව පිරිස ඉන්දුනීසියාවේ සංචාරයක ද නිරතවනු ඇති.