by Staff writer 27-10-2020 | 7:53 PM
COLOMBO (News 1st) : අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියේ ය.
ශක්තිමත්, ස්වෛරී ශ්‍රී ලංකාවක් සමග හවුල්කාරීත්වයක් සඳහා එක්සත් ජනපදයේ කැපවීම අවධාරණය කිරීම මේ සංචාරයේ අරමුණ බව කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේ ය.
ඔවුන් සඳහන් කළේ, නිදහස් හා විවෘත ඉන්දු-ශාන්තිකර කලාපයක් සඳහා පොදු අරමුණු ඉදිරියට ගෙනයාමට ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා අපේක්ෂා කරන බවයි.
අද රාත්‍රියේ කොළඹට ළඟා වූ මයික් පොම්පියෝ මහතා රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවලට සහභාගිවන්නේ හෙට උදෑසනයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුනවර්ධන යන මහත්වරුන් හමුවන රාජ්‍ය ලේකම්වරයා ඒකාබද්ධ මාධ්‍ය හමුවකට සහභාගිවීමට ද නියමිතව තිබේ.
නිල සාකච්ඡාවලින් අනතුරුව ඔහු හෙට කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට ද පැමිණීමට නියමිතයි.
ඉන්දීය නිල සංචාරයකින් පසුව මෙරටට එන මයික් පොම්පියෝ මහතා අනතුරුව මාලදිවයින හා ඉන්දුනීසියාව බලා පිටත්ව යනු ඇති.
මීට පෙර පසුගිය වසරේ ජුනි මාසයේ මෙරට සංචාරය කිරීමට ඔහු සැලසුම් කළ නමුත් එය අවලංගු කෙරිණ.
ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා නිල බලයෙන්ම ඇමරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් එම්සීසී ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිවරයායි.
ඔහු 2017 ජනවාරි සිට 2018 අප්‍රේල් දක්වා ඇමරිකාවේ සීඅයිඒ ඔත්තු සේවයේ අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කළේ ය.
ඊට පෙර පොම්පියෝ මහතා කැන්සස් ප්‍රාන්තයේ කොංග්‍රස් සභිකයෙකි.
ඇමරිකානු පරිපාලනයේ විශේෂ කමිටු රැසකම සාමාජිකයෙකු ලෙස ද පොම්පියෝ මහතා කටයුතු කර ඇති ඔහු ගුවන් හා අභ්‍යවකාශ කටයුතු සම්බන්ධයෙන් ප්‍රමුඛ පෙලේ සමාගමක්වන තේයර් ඒරෝ ස්පේස් සමාගම ආරම්භ කර එහි ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙසද කටයුතු කළේ ය.