අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ අද දිවයිනට

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ අද දිවයිනට

by Staff writer 27-10-2020 | 7:56 AM

COLOMBO (News 1st) - ආසියානු කලාපයේ රටවල් 4 ක සංචාරයක නිරත වන අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ මහතා අද රාත්‍රියේ මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

විදේශ අමාත්‍යාංශය නිවේදනය කළේ, මෙම සංචාරය අතරතුරදී පොම්පේයෝ මහතා මෙරට නායකයින් හා විදේශ අමාත්‍යවරයා සමග නිල වශයෙන් සාකච්ඡා පවත්වනු ඇති බවය. දෙරට අතර නියැලී ඇති බහු ආංශික කටයුතුවලට අදාළ ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව මෙම සාකච්ඡාවලදී අවධානය යොමු කෙරෙනු ඇති. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන් මෙරටට පැමිණෙන අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා හෙට දිනය දක්වා මෙරට රැඳී සිටීමට නියමිතය. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ධුර කාලය තුළදී ශ්‍රී ලංකාවට පැමිණෙන එක්සත් ජනපදයේ ඉහළම මට්ටමේ සම්භාවනීය අමුත්තා රාජ්‍ය ලේකම් පොම්පේයෝ මහතා වන බව විදේශ අමාත්‍යාංශය නිවේදනය කළේ ය. මේ අතර පසුගිය සතියේ වොෂින්ටන් නුවරදී මාධ්‍ය ඇමතූ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳව ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම් ඩීන් තොම්සන් මහතා පැවසුවේ, රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ විදේශ අමාත්‍යවරයා හමුවන බවයි. මේ අතර ආසියානු කලාපයේ රටවල් 4 ක සංචාරයක් ආරම්භ කරමින් ආමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ මහතා ඊයේ පස්වරුවේ ඉන්දියාවේ නවදිල්ලි නුවරට ළඟාවිය. අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ සමග ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් මහතා ද ඉන්දීය සංචාරයට සහභාගි විය. මෙරට සංචාරයෙන් අනතුරුව මාලදිවයින බලා පිටත්ව යන අමෙරිකානු රාජ්‍ය ලේකම්වරාය සිය සංචාරයේ අවසන් පියවර ලෙස ඉන්දුනීසියාවේ සංචාරය කරනු ඇති.