යෝෂිත රාජපක්ෂ ජනපති කොමිසමට

යෝෂිත රාජපක්ෂ දේශපාලන පළිගැනීම් ගැන සොයන ජනපති කොමිසමට..

by Staff writer 26-10-2020 | 10:55 PM

COLOMBO (News 1st ) - හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර, පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම්, සරත් ෆොන්සේකා ඇතුළු පිරිසක් දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ පෙනී සිටීම පැහැර හැරී පුද්ගලයින් බවට වාර්තා කරන බව කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අද ප්‍රකාශ කළේය.

ඒ, ප්‍රධාන පොලිස් පරීක්ෂක තිස්ස පිලපිටිය සහ යුද හමුදාවේ විශ්‍රාමික මේජර් ජෙනරල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරුන් කොමිසමට කළ පැමිණිලි විභාගයට ගත් අවස්ථාවේදීය. පැමිණිලිකරුවන් කොමිසමට කළ, කරුණු දැක්වීමට අදාළව හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර, පාඨලී චම්පික රණවක, සරත් ෆොන්සේකා, මලික් සමරවික්‍රම, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන රවුෆ් හකීම්, එම්.ඒ .සුමන්තිරන් සහ අනුර කුමාර දිසානායක යන මහත්වරුන් වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබුවේය. මීට අමතරව අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ , ජනාධිපති නීතීඥ ජේ.සී.වැලිඅමුණ , ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මෙන්ම දූෂණ විරෝධී කමිටුවේ හිටපු අධ්‍යක්ෂ ආනන්ද විජේපාල යන මහත්ම මහත්මීන් ද මෙහි වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබේ. ඔවුන්ට අද කොමිසම හමුවේ පෙනී සිටින්නැයි නොතිසී නිකුත් කළ ද ඔවුන් පෙනී සිටියේ නොසිටියේය. සභාපති විනිසුරුවරයා සඳහන් කළේ, අදාළ පුද්ගලයින් කොමිසම විසින් නිකුත් කළ නොතීසි නොසලකා හරින බවට නිරීක්ෂණය වී ඇති බවයි . එබැවින් ඔවුන් සියලු දෙනා දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම මගහැරී පුද්ගලයින් බවට වාර්තා කරන බව සභාපති විනිසුරුවරයා සදහන් කළේය . කෙසේ වෙතත් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය අදාළ පැමිණිලි සම්බන්ධයෙන් කරුණු දැක්වීමට දින හතක කාලයක් ඉල්ලා කොමිෂන් සභාවට මෝසමක් ඉදිරිපත් කර තිබුණ ද එම ඉල්ලීම ද කොමිෂන් සභාව ප්‍රතික්ෂේප කළේය. මේ අතර පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර සහ වැඩ තහනමකට ලක්ව සිටින කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල යන මහත්වරුන්ට හෙට දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින්නැයි දන්වා අද නොතිසි නිකුත් කෙරුණි. ඒ අග්‍රාමාත්‍ය කාර්‍ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා කොමිසමට කළ කරුණු දැක්වීමකට අදාලවයි. කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් හෙවත් සී.එස්.එන් නාලිකාව ආරම්භ කිරීමේදී මූල්‍ය වංචා සහ රජයේ දේපොළ භාවිත කර ඇති බවට චෝදනා කරමින් යහපාලන ආණ්ඩු සමයේ දී තමාව අත්අඩංගුවට ගෙන දින 45 ක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම දේශපාලන බලපෑම් මත සිදු කර ඇති බවට යෝෂිත රාජපක්ෂ මහතා ජනාධිපති කොමිසමට පැමිණිලි කර තිබේ. ඔහු සඳහන් කළේ 2016 ජනවාරි මාසයේදී තමාව අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන යන අවස්ථාවේදී දැඩි ආරක්ෂාවක් යොදවා තිබූ බවයි. එය හුදෙක් විමර්ශන නිලධාරීන් විසින් සිදුකළ මාධ්‍ය සංදර්ශනයක් බව යෝෂිත රාජපක්ෂ මහතා සඳහන් කළේය. "ජනාධිපති , අගමැතිටවත් නැති ආරක්ෂාවක් මට ලබා දී තිබුණා" යෝෂිත රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය . සී.එස්.එන් නාලිකාව ආරම්භ කිරීම සම්බන්ධයෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ රොහාන්ත අබේසූරිය මහතා යෝෂිත රාජපක්ෂ මහතාගෙන් කරුණු විමසුවා. "මා ඊට කිසිදු සම්බන්ධයක් නැහැ. අධ්‍යක්ෂ මණ්ඩලයේ හෝ කටයුතු කර නැහැ" රාජපක්ෂ මහතා පිළිතුරු ලබා දුන්නේය. රොහාන්ත අබේසූරිය මහතා යළි විමසුවේ "ඔබ බී වාර්තාවේ ඇතුළත් කරුණු ප්‍රතික්ෂේප කරනවාද?" යන්නයි. "ස්වාමීනි මගේ මුල්ම ප්‍රශ්න කිරීමේදී මම දැනගත්තා මගේ පියාගෙන් පළිගන්න හෝ මඩ ගහන්න හෝ තමයි මෙහෙම කරන්නේ කියලා. මේක සම්පූර්ණයෙන්ම දේශපාලන පළිගැනීමක්" යෝෂිත රාජපක්ෂ මහතා වැඩිදුරටත් සදහන් කළේය.