මයික් පොම්පේයෝ ඉන්දියාවට: හෙට ශ්‍රී ලංකාවට

මයික් පොම්පේයෝ ඉන්දියාවට: හෙට රාත්‍රියේ දී ශ්‍රී ලංකාවට...

by Staff writer 26-10-2020 | 7:36 PM

COLOMBO (News 1st) - ආසියානු කලාපයේ රටවල් 4 ක සංචාරයක් ආරම්භ කරමින් අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ මහතා අද පස්වරුවේ ඉන්දියාවේ නවදිල්ලි නුවරට ළඟාවිය.

ඔහු හෙට රාත්‍රියේ කොළඹට පැමිණීමට නියමිතය. අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ සමග ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් මහතා ද ඉන්දීය සංචාරයට සහභාගි වේ. නවදිල්ලි ගුවන් තොටුපොළේදී ඉන්දියාවේ අමෙරිකානු තානාපතිවරයා පිරිස පිළිගත් අතර නිල සංචාරය අද රාත්‍රියේ ආරම්භ වේ. ටූ ප්ලස් ටූ (2+2) ලෙස හඳුන්වන දෙරට ආරක්ෂක සහ විදේශ ආමත්‍යවරුන්ගේ නිල සාකච්ඡාවටය පැවැත්වෙන්නේ හෙට උදෑසන 10.00 ටයි. අනතුරුව පිරිස ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමුවනු ඇති. දෙරට අතර ද්වීපාර්ශ්වික ආරක්ෂක සහයෝගිතාව පුළුල් කරන මූලික හුවමාරු හා සහයෝගිතා ගිවිසුම හෙවත් බෙකා ගිවිසුම පිළිබඳව අවසන් අදියරේ සාකච්ඡා මෙහිදී සිදුවනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙරිකානු ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් මහතා ට්විටර් පණිවිඩයකින් පවසා තිබුණේ, ඉන්දු , පැසිෆීක් කලාපයේ එක්සත් ජනපද සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරමින් දත්ත හුවමාරු කරගැනීමේ පද්ධති ශක්තිමත් කරන බවයි. සමුද්‍රීය ආරක්ෂාව තහවුරු කර ගනිමින් ජාත්‍යන්තර නීති තහවුරු කරමින් මෙය ක්‍රියාත්මක කිරීම සිය අපේක්ෂාව බව ද ඔහු කියා සිටියේය. පසුගිය සතියේ වොෂින්ටන් නුවරදී මාධ්‍ය ඇමතූ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳව ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම් ඩීන් තොම්සන් මහතා පැවසුවේ, රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ විදේශ අමාත්‍යවරයා හමුවන බවයි. ඔවුන් හමුවී ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් සහ ස්වාධීන ශ්‍රී ලංකාවක් ගොඩ නැගීම සඳහා අමෙරිකාවේ ඇති කැපවීම තහවුරු කරන බවයි. රාජ්‍ය ලේකම්වරයා හෙට රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණෙන අතර අනිද්දා උදෑසන ද්වීපාර්ශ්වික සාකච්ඡාවටය සූදානම් කර තිබේ. අනතුරු මාලදිවයින බලා පිටත්ව යන අමෙරිකානු රාජ්‍ය ලේකම්වරාය සිය සංචාරයේ අවසන් පියවර ලෙස ඉන්දුනීසියාවේ සංචාරය කරනු ඇති. ඔහු ඉන්දීය සංචාරයේදී සාකච්ඡාකරන ප්‍රධාන ද්වීපාර්ශ්වික කරුණ වන්නේ මූලික හුවමාරු හා සහයෝගිතා ගිවිසුමයි. මාලදිවයිනේදී ද්වීපාර්ශ්වික ආරක්ෂක සහයෝගිතා ගිවිසුම පිළිබඳව අවසන් අදියරේ සාකච්ඡා පැවැත්වෙන බව දැනටමත් ප්‍රකාශවී තිබේ. ඉන්දුනීසියාවේදී ද ආරක්ෂක සහයෝගිතාව පිළිබඳව තීරණාත්මක සාකච්ඡා වටයක් පැවැත්වෙනු ඇති. නමුත් ශ්‍රී ලංකා සංචාරයේදී සාකච්ඡාවන කරුණු පිළිබඳව තවමත් නිශ්චිත අදහසක් ප්‍රසිද්ධ වී නැත.