මිනුවන්ගොඩ,පෑලියගොඩ පොකුර 4050 දක්වා ඉහළට

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුර 4050 දක්වා ඉහළට..

by Staff writer 25-10-2020 | 7:06 AM

COLOMBO (News 1st) – කොරෝනා ආසාදිතයින් 368 දෙනෙකු ඊයේ (24) හඳුනා ගැනුණි.

රජයේ දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරෙන් මේ වනවිට අසාදිතයින් 4050 දෙනෙකු වාර්තා වී ඇති බවයි. ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 7521 කි. 3714 දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. මෙරට 15 වැනි කොරෝනා මරණය ඊයේ (24) පෙරවරුවේ වාර්තා විය. එලෙස මියගියේ කුලියාපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 56 හැවිරිදි පුද්ගලයෙකි . මේ අතර කොළඹ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජයමුණි මහතා පැවසුවේ, මේ වනවිට කොළඹ නගරය ආශ්‍රිතව කොරෝනා අසාදිතයින් 700 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි. මේ අතර රටම වසා දැමීමේ ක්‍රමවේදය හරහා සරලව විසඳුමක් පෙන්නුම් කළ හැකිවුව ද ඒ හරහා ජන ජීවිතයට බලපෑම් එල්ලවිය හැකි බව වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ ය. විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ ඉදිරියේදී තවත් රෝගීන් වාර්තා වීමට ඉඩ ඇති බවයි. කොරෝනා වැළැක්වීමේ එන්නතක් පාවිච්චි කිරීමට සූදානමින් සිටින්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ රත්නපුරේදී හෙළි කළා ය.