ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් 866ක්..

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 7154ක් දක්වා ඉහළට: ගෙවුණු දිනයේ ආසාදිතයින් 866ක්

by Staff writer 24-10-2020 | 7:28 AM
COLOMBO (News 1st) :  කොරෝනා ආසාදිතයින් 866 දෙනෙකු ඊයේ ( 23 ) හඳුනා ගැනුණි. වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ , ඉන් 535 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසැළෙන් හමුවූ ආසාදිතයින් බවයි. නිරෝධායන මධ්‍යස්ථානවලින් 48 දෙනෙකු සහ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 257 දෙනෙකු හඳුනාගෙන තිබේ. ගාල්ල වරායෙන් 05 දෙනෙකු, බේරුවල වරායෙන් 20 දෙනෙකු හා විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයෙකු ද ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇතැයි ද ඔහු සඳහන් කළේ ය. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 7154 ක් දක්වා ඉහළ ගියේ ය. ඒ අනුව වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 3496 කි. මේ වනවිට සුවය ලබා ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 3644 කි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික සහ වෘත්තීය සෞඛ්‍ය අංශයේ විශේෂඥ වෛද්‍ය ඉනෝකා සුරවීර මහත්මිය පැවසුවේ , සෑම කර්මාන්ත ශාලාවකම කොරෝනා වැළැක්වීම හා සේවක සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම සඳහා වෙනම නිලධාරියෙකු පත් කරන ලෙසය නිර්දේශ කර ඇති බවයි. කර්මාන්ත ශාලා සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ හඳුන්වා දී ඇතැයි ද ඇය සඳහන් කළා ය.